තක්කාලි එළවළුවක්ද? පළතුරක්ද?
තක්කාලි එළවළුවක්ද? පළතුරක්ද?
නඩු ගිහින් විසඳුන ප්‍රශ්නය ගැන ඔබ දැන සිටියාද ?
තක්කාලි නොදැකපු නොදන්න කෙනෙක් නෑ. ව්‍යාංජනවලට, සෝස් විදිහට වැනි ආකාර කිහිපයකින් අපි තක්කාලි පරිභෝජනය කරනවා. සාමාන්‍ය වහරේ ඇතැමෙක් තක්කාලි එළවළුවක් ලෙසත්, ඇතමෙක් පළතුරක් ලෙසත් සලකනවා. ඇත්තමට තක්කාලි එළවළුවක්ද? පළතුරක්ද?
ඔබ දන්නවාද මේ ගැටලුව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩු නිමිත්තකටත් පාදක වුණා කියලා? මේ සුවිශේෂි නඩු කටයුත්ත හා එහි නිමිත්ත ගැන දැනගන්නට 19 වැනි සියවසේ අගභාගයේ අමෙරිකාවේ නිව්යෝර්ක් සිටි කරා අපට යන්න වෙනවා.
ජෝන් නික්ස් එවක නිව්යෝර්ක් සිටි හී විසූ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි. අමෙරිකාවේ අනෙකුත් පෙදෙස්වල සිට නිව්යෝර්ක් කරා නැව් මගින් ආහාර ද්‍රව්‍ය ආනයනය කළ සමාගමක් ඔහුගේ පවුල සතු විය. සරැවට වෙළද කටයුතුවල යෙදී සිටි නික්ස්ගේ ව්‍යාපාරවලට 1883 බදු පනත සම්මතයත් සමඟ සෘජු බලපෑම් එල්ල විය. නික්ස් පවුල නව පනතින් වෙව්ලුම් කෑ බව නිසැකය.
පනත ප්‍රකාරව ආනයනය කරන එළවළු වර්ග සඳහා වටිනාකම අනුව තීරු බද්දක් පැනවීම සිදුකරයි. වරාය බදු අයකරු වෙත එය ගෙවිය යුතුය. පනත බලපැවැත්වූයේ එළවළු වර්ග සඳහා පමණක් වූ අතර පළතුරු වර්ග සඳහා බදු නිදහසක් විය.
ඒ අනුව නික්ස්ගේ සමාගම විසින් ආනයනය කරන තත්කාලි ද එළවළුවක් ලෙස සලකා පනත යටතේ වරාය බදුකරු විසින් බදු අයකරගන්නා ලදී.
උද්භිත විද්‍යාත්මක නිර්වචන මත පළතුරක් යනු ශාකයක බීජ දරන ව්‍යූහයයි. ඒ අනුව තත්කාලි යනු පළතුරකි. පනතේ පළතුරු බදු නිදහසෙන් බැහැරව තමන් ආනයනය කරන තත්කාලි සඳහා බදු අයකිරීම හේතුවෙන් නික්ස් ඇතුළු පවුල එවක වරාය බදු අයකරු වූ එඩ්වඩ් හේඩන්ට එදිරිව උසාවියේ නඩුවක් ගොනු කරනවා.
Nix v. Hedden නඩුව ලෙස ප්‍රකට මෙයයි. 1889දී ප්‍රාන්ත අධිකරණයක පළමුව අසන නඩුවේ තීන්දුව ලෙස තත්කාලි සඳහා බදු අයකිරීම නිවැරදි බව ෆෙඩරල් විනිසුරුවකු තීරණය කරමින් බදු අයකරු හේඩන්ට පක්ෂව තීන්දුව ලබා දෙනවා.
මේ තීන්දුවෙන් සෑහීමට පත්නොවූ නික්ස් තම දුක්ගැනැවිල්ල අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කරනවා. 1893 වසරේදි අගවිනිසුරු ප්‍රමුඛ නව දෙනකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව නැවත විවාදයට ලක්කරනවා.
නඩු විභාගයේදි පැමිණිල්ල විසින් තම මතය තහවුරු කරනු වස් “පළතුරු” හා “එළවළු” වල නිර්වචන ගෙනහැර පෑම සදහා වෙබ්ස්ටර්, වූස්ටර්ස් හා ඉම්පීරියල් වැනි ශබ්දකෝෂ දිගහැරි අතර එම නිර්චන අසා එය හා වෙළඳ පාරිභාෂිකය අතර සමානතාව විමසීම සඳහා සාක්ෂිකරුවන් ලෙස පාරම්පරික පළතුරැ හා එළවළු වෙළෙන්දන් කැඳවීය.
එක් සාක්ෂිකරුවකු කියා සිටියේ;
“ශබ්දකෝෂවලින් සියල්ල බෙදා වෙන්කර නෑ…. සියලුම එළවළු හෝ පළතුරැ පැහැදිලිව බෙදා වෙන්කර නෑ… මම සිතනා ලෙස වෙළඳාම පටන් ගත් දා සිටම වෙළඳ වහරේ එළවළු හා පළතුරු සැලකුවේ එකම අර්ථයෙන්……
තවෙකෙක් කියා සිටියේ;
“883 හෝ පෙරදි පළතුරු හෝ එළවළු ලෙස නියමිත ශිර්ෂයන් තිබූ බව මා සිතන්නේ නෑ. පොදුවේ රටේ විවිධ පෙදෙස්වල වාණිජ වෙළඳාමේ භාවිතයන් හා ඉහත නිර්වචන අතර පරස්පරතාවක් ඇතැයි සිතේ.”
පැමිණිල්ල හා විත්තිය යන පාර්ශව දෙකම ශබ්දකෝෂ පිටු අතර අකුරු සටනක නිතර වුණා. විත්තිය විසින් සාක්ෂි ලෙස මෑ, පිපිඤ්ඤා, වම්බටු වැනි ආහාරවල තේරුම් ඉදිරිපත් කළ අතර පැමිණිල්ල විසින් අර්තාපල්, මල්ගෝවා හා ගෝවාවල තේරුම් ඉදිරිපත් කරමින් ප්‍රතිඋත්තර දෙන ලදි.
පැමිණිල්ලේ හා විත්තියේ දේශන අවසානයේදී විනිසුරු මඩුල්ල 1893 මැයි 10 දින “ඒකමතික තීරණයකට” පැමිණියේය.
එනම්, තක්කාලි ‘‘එළවළුවක්‘‘ ලෙස වර්ග කළ යුතුය. එය පොදුවේ ප්‍රචලිතව ඇති ආකාරය, එහි භාවිතය හා පනත් සම්පාදකයන්ගේ මූලික අරමුණ යන කරුණු මෙහිදී සලකන ලදී. ශබ්දකෝෂ, සාක්ෂි ලෙස භාරගැනීමට නොහැකි බවත් කළ හැක්කේ මතක් කිරීම හෝ අබෝධ කරගැනීමට උපකාරයක් ලෙස භාවිතය පමණක් බවත් සඳහන් විය. එබැවින් පනත ප්‍රකාරව තත්කාලිවලින් බදු අයකිරීම නිවැරදියැයි ද නිගමනය විය.
නඩුව නිමාවිය.
උද්භිත විද්‍යාත්මකව තත්කාලි පළතුරකි. නමුත් එදිනෙදා ආහාර පිසීමේදී ජනයා බොහෝ විට සලකනුයේ තත්කාලි එළවළුක් ලෙසය. කුමක කුමක් සඳහන්ව තිබුණද, කුමන වර්ග කිරීම් තිබුණද ශතවර්ෂ ගණනාවක් පුරා මිනිසුන් තත්කාලි අනුභව කළේය. ආශා කළේය. රසාංකුර වින්දනය කිරීම සඳහා තත්කාලි එළවළුවක්ද පළතුරක්ද යන නිවැරදි නිර්වචනය අදාළම නැත.
මිනිසා සාදාගත් නීති සීමා මායිම් තුළ මිනිසාම අතරමංව ඇත.
No comments
You are WELL COME👏👏😘