Rejection ප්‍රතික්ෂේප වීම
Rejection ප්‍රතික්ෂේප වීම
ජීවිතයට ගොඩක් වැදගත් ලිපියක්. ටිකක් වෙලා අරන් කියවන්න.
-------------------------------------
ජීවිතයේ එකපාරක්, දෙපාරක් නෙමෙයි, ඕනතරම් අහලා තියෙන වචනයක් නේද? මේ සටහන කියවන්න පටන්ගත්ත ඔබ ජීවිතයේ වරක්, දෙවරක් නෙමෙයි ඕනතරම් මිනිස්සුන්ගේ වගේම, ස්වභාවධර්මයේ ප්‍රතික්ෂේප කිරීම් වලට ලක්වෙලා ඇති. එහෙම හැමෝම තමාට තමාව එපා කියන කොට ඇතිවන කලකිරීම නිසා කරගෙන යන දේ අත් හැරීමේ ඉඳලා, ජීවිතය නැති කරගන්නා තත්ත්වය තෙක් මිනිස්සු විවිධාකාර දේවල් කරනවා. සමහර විට දරාගෙන ඉන්න බැරිම තැන සියදිවි නසාගන්නවා. ඒ කියන්නේ තමා තමාවම ප්‍රතික්ෂේප කිරීමේ උච්චතම ස්ථානයට පත්වෙනවා. වටේ බලන් ඉන්න අය කොයිතරම් කතන්දර කිව්වත්, ප්රතික්ෂේපවීමේ හැඟීම දැනෙන්නේ එහෙම ප්‍රතික්ෂේප වෙච්ච කෙනාට. මේ ලෝකෙ හැමෝටම මේ ප්‍රතික්ෂේපවීම පොදුයි නම්, අපි හොයාගන්න ඕනේ ප්‍රතික්ෂේප වීම ජයග්‍රහණය කරලා සාර්ථක මනුස්සයෙක් විදිහට නැගිටින්න පුළුවන් ක්‍රමයක්...
දිගටම කියවන්න ! අකුරක් නෑර කියවන්න ! නැවත නැවත කියවන්න ! අද #Talk_Note #15 කතාබහ ලෝකෙට තමාව එපා වුනත්, තමාට තමාව එපා කියන හැඟීම දැනුනත් ඒක ජයග්‍රහණය කරලා තමන්ගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙනියන්නේ කොහොමද ? කියන එක...
වැඩිහිටියන්ට පමණයි කතාවක්...
මතක තියාගන්න... කාට එපා වුනත් මේ ලෝකයට ඔබව ඕනේ. ඒකයි ඔබ ඉපදුනේ. අපි හැමෝම දන්නවා, වරකට කාන්තාවක් නිකුත් කරන්නේ එක ඩිම්බයක් වුනාට පිරිමියෙක් වරකට නිකුත් කරන ශක්‍ර තරලයේ එක මිලි ලීටරයක් තුළ ශුක්‍රාණු මිලියන 15 ත් 39ත් අතර හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. එක ඩිම්බයක් එක්ක සංසේවනය වෙන්න අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් එක ශුක්‍රාණුවක් පමණයි. එතකොට අර කාන්තාවකගෙන් නිකුත් වෙච්ච ඒ ඩිම්බය ඩැහැගන්න පුලුවන් වෙන්නේ මේ මිලියන 39 ඇතුලේ ඉන්න දක්ෂතම ශුක්‍රාණුවට. අන්න එහෙම මිලියන 39ක් එක්ක තරඟ කරලා ජය අරගෙන යුක්තානුවක් විදිහට සංසේවනය වෙලා, කළලයක් විදිහට නිර්මාණය වෙලා මේ ලෝකයට ආපු ඔබ, මිලියන 39ක් පරදවපු ජයග්‍රාහකයෙක්. ඒකයි ඔබ ඉපදුනේ. මිලියන 39ක් එක්ක තරඟ කරලා ජයගත්ත ඔබට පුලුවන්ද මේ පොඩි ප්‍රතික්ෂේප වීමක් දරාගන්න බැරුව ජීවිතය අතහැරලා දාන්න ? ඒක කොහොමටවත් කරන්න කරන්න බෑ. කරගන්න දෙන්නත් බෑ. ඒකයි අපි ජීවිතය දිනන්න ඕනේ. ඒකයි අපි සාර්ථක, ජයග්‍රාහී පුද්ගලයෙක් වෙන්න ඕනේ. ජීවිතය සුළුවෙන් ගන්නත් එපා ! අතහැරලා දාන්නත් එපා ! මෙතනින් එහාට කතාව පරිස්සමෙන්, අවධානයෙන් කියවන්න... හරියටම තේරුම් ගන්න...
ප්රතික්ෂේපණය Rejection
අඳුරේ අත පත ගාන්නේ නැතුව මුලින්ම මේක හරියට නෙමෙයි, හරියටම තේරුම් ගන්න.
ඇත්තටම මොකක්ද මේ ප්රතික්ෂේපණය කියන්නේ ? කෙටියෙන්ම කිව්වොත් තෝරාගැනීම හෝ පිළිගැනීම බලාපොරොත්තුවෙන් සිටි යමෙකු, යම්කිසි ක්‍රියාවක්, අදහසක් හෝ යෝජනාවක් සම්පූර්ණයෙන්ම ඉන් ඉවතට තල්ලු කිරීම ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය පුද්ගලයෙකු වගේම පුද්ගල කණ්ඩායමක් හෝ ඔවුන් ඉදිරිපත් කරපු අදහසක් හෝ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම වෙන්නත් පුළුවන්. එවැනි අත්දැකීමකට ජීවිතයේ එකවතාවක් හෝ මුහුණ දුන්න හැමෝම කියන විදිහට ප්‍රතික්ෂේප වීමක ප්‍රතිඵල හෝ එමඟින් ඇතිවන හැඟීම් බොහෝවිට වේදනාකාරී වෙන්නත් පුලුවන්. ප්‍රතික්ෂේප වීම බොහෝවිට දැනෙන්නේ මොළයට නොව හදවතටයි. හදවතට දැනෙන හැඟීම් නිසා පුද්ගල ජීවිත කඩා වැටෙන්න වගේම මානසික වශයෙන් දැඩි පීඩනයක් එල්ල වෙන්නත් පුලුවන් !
ප්‍රතික්ෂේප කිරීම සහ ප්‍රතික්ෂේප වීම
මේ කාරණාව වඩා හොඳින් තේරුම් ගන්න කොටස් දෙකකින් පුළුවන්.
*️⃣ ප්‍රතික්ෂේප කිරීම - තමා විසින් තමාවම ප්‍රතික්ෂේප කිරීම.
#️⃣🗣️ මම මහ කාලකණ්ණියෙක්.
#️⃣🗣️ මම මහ අවාසනාවන්තයෙක්.
🗣️ මම අතගහන කිසිම දෙයක් හරියන්නේ නෑ.
🗣️ මට ජීවිතේ ගොඩදාගන්න පොටක් පෑදෙන්නෙම නැති හැටි.
#️⃣🗣️ මම අළුතින් පටන් ගන්න කිසිම දේකට අතදෙන්න, උදව් කරන්න කෙනෙක් නැති හැටි.
යම්කිසි දේකට උත්සාහ කරලා කරලා බැරිම තැන අන්තිමට තමුන්ට මෙන්න මේ වගේ දේවල් හිතෙන්න පුලුවන්. ඒ කියන්නේ තමුන් තමුන්වම ප්‍රතික්ෂේප කරන්න ආරම්භ කරන තැන. කාලයක් මෙන්න මේ සිතුවිලි වල හිරවෙලා, අන්තිමට තමා තමාවම ප්‍රතික්ෂේප කරලා, තමාගේ යටිසිතට පණිවිඩයක් යවනවා, "මම නිකම්ම නිකං නිකමෙක් ! " කියලා. අන්න ඒ සිතුවිල්ල බොහෝම භයානකයි.
ඒ වගේම ඕකෙම අනිත් පැත්ත. ඒ තමයි;
*️⃣ ප්‍රතික්ෂේප වීම - තමා, තමා නොවන වෙනත් ඕනෑම කෙනෙකුගෙන් ප්‍රතික්ෂේප වීම.
#️⃣🗣️ ඔයාට මේ ලෝකෙ දෙයක් බෑ.
#️⃣🗣️ බලන්න ඔයා මෙතෙක් කාලෙකට කරපු කිසිම දෙයක් හරිගිහින් නෑ.
#️⃣🗣️ ඔයාගේ කටහඬ හරියට බෙලෙක්කයක් සූරනවා වගේ.
#️⃣🗣️ ඔයාගේ මූහුණ හරියට බෙරිවෙච්ච කිරිබත් හැලියක් වගේ.
#️⃣🗣️ මොනවාද ඔට්ටු, ඔයාට මේක කරන්න බෑ.
ඔන්න ඔයවගේ කියුම්, කෙරුම් වලින් මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කරනවා. ඕනෑම මනුස්සයෙකුට ඕනෑම දෙයක් කියන්න අදහස් ප්රකාශනයේ නිදහසක් තියෙනවා. ඒක නිසා ඒ මිනිස්සු අපිව පිටින් දැකලා පූර්ව නිගමනයන්ට එනවා, වගේම ඒවායින් ඇතිවන ප්‍රතිඵල ගැන හිතන්නේ නැතුව අපේ හදවත පසාරු කරගෙන යන විදිහට විවිධාකාර කතා කියලා දානවා. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුලුවන් වුනාට ඔබ ඒවා බාරගන්නවාද? නැද්ද? යන එක ඔබට අයිති වැඩක්.
මිනිස්සු එකතුවෙලා ඔබට ගල් ගැහුවොත්, ඔබට පුලුවන්කම තියෙන්න ඕනේ, ඒ ගල් ටික එකතු කරලා ජීවිතයේ ඔබ බලාපොරොත්තුවෙන තැනට යන්න පාලමක් හදාගන්න.
"In this world some people will always throw stones in your path. It depends on what you make from them. - A WALL or A BRIDGE -"
- Unknown -
මතක තියාගන්න, කලින් කියපු ප්‍රතික්ෂේප කිරීම සහ ප්‍රතික්ෂේප වීම කියන දෙකෙන් වඩා භයානකම දේ තමයි තමා විසින් තමාව "ප්‍රතික්ෂේප කිරීම". මොකද යමක් කරන්න කලින් ඔබට දැනෙන හුඹස් බිය (තමා අසාර්ථක වේ යැයි, තමාටම දැනෙන අනියත බිය - Fear of Rejection) අතහැරලා දාලා දෙයක් පටන් ගන්න ශක්තිමත් ආත්ම ආත්මවිශ්වාසයක් ඔබ ගොඩනඟා ගන්න ඕනේ. මොකද? ඔබ ගැන හරියටම දන්නේ ඔබ. ඔබ තමුන්ට තමුන් ගැන තියෙන විශ්වාසය හෙවත් ආත්ම විශ්වාසය විශ්වාස කරන තාක් ඔබව වට්ටන්න කාටවත්ම බෑ.
මේ ලෝකෙ ප්‍රතික්ෂේප වීම ප්‍රතික්ෂේප කරපු මිනිස්සු ඉන්නවද?
ඕනෙතරම් ඉන්නවා. අළුත් දේවල් කරපු මිනිස්සු හැමෝම තමුන්ට අතොරක් නැතුව ආපු ප්‍රතික්ෂේප වීම් දරාගෙන ජීවිතය සාර්ථක කර ගත්තු මිනිස්සු. මම ඔබට උදාහරණ දෙකක් කියන්නම්. එකක් අතීතයෙන්, අනිත් එක වර්තමානයෙන්.
#️⃣ අතීතයෙන් මම ඔබට කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය ජනපදයේ 16 වැනි ජනාධිපති (1861-1865) ඒබ්‍රහම් ලින්කන් ගැන...
1831 - ඔහුගේ රැකියාව අහිමි වුනා
1832 - ඉලිනොයිස් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය සඳහා ඉදිරිපත් වෙලා පරාජය වුනා.
1833 - ව්‍යාපාර අසාර්ථක වුනා.
1834 - ඉලිනොයිස් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයට තේරී පත් වුනා. (සාර්ථකත්වය)
1835 - තම පෙම්වතිය මිය ගියා.
1836 - ස්නායු බිඳවැටීමක් ඇතිවුණා.
1838 - ඉලිනොයිස් හවුස් කථානායක ධුරය සඳහා පරාජය වුණා.
1843 - එක්සත් ජනපද කොන්ග්රසය සඳහා නාමයෝජනා සඳහා පරාජය වුණා.
1846 - කොන්ග්‍රසයට තේරී පත් වුණා. (සාර්ථකත්වය)
1848 - නැවත නම් කිරීමේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුණා.
1849 - ඉඩම් නිලධාරී තනතුර සඳහා ප්‍රතික්ෂේප වුණා.
1854 - එක්සත් ජනපද සෙනෙට් සභාව සඳහා පරාජය වුණා.
1856 - උප ජනාධිපති ධුරයට නාමයෝජනා සඳහා පරාජය වුණා.
1858 - එක්සත් ජනපද සෙනෙට් සභාව සඳහා නැවතත් පරාජය වුණා.
1860 - ඇමෙරිකා එක්සත් ජනපදයේ 16වන ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූණා. (සාර්ථකත්වය)
🤔 ඔබේ ජීවිතයේ මෙතරම් ප්‍රතික්ෂේපවීම් වලට ඔබ ලක්වෙලා තිබෙනවාද ? නෑ නේද? එහෙම නම් අන් අය ඔබව ප්‍රතික්ෂේප කරන්නට පෙර ඔබ විසින් ඔබව ප්‍රතික්ෂේප කිරීම නවත්වන්න !
දෙවෙනි උදාහරණය වර්තමානයෙන් කිව්වනේ...
#️⃣ලෝකයේ ධනවත්ම මිනිසුන් අතර 20 - විසි වන ස්ථානය හිමිකරගෙන ඇති, චීනයේ එතෙක් මෙතෙක් බිහිවූ සාර්ථක් ව්‍යාපාරිකයෙක් වන ජැක් මා (Jack Ma) අවස්ථාවන් ගණනාවකදී ප්‍රතික්ෂේප වීම ප්‍රතික්ෂේප කලා. නොසලකා හැරිය හැකි තරම් ඉතා කුඩා ප්‍රතික්ෂේප වීමක් හමුවේ මානසික කඩා වැටීම් වලට ලක්වී ඇති ඔබ, නිකමටවත් "ජැක් මා" ගේ ජීවිතයෙන් පාඩමක් ඉගෙන ගත්තාද ?
ජැක් මා ඔහුගේ විශාලතම අසාර්ථකත්වයන් 7 - හත ජයගත්තේ කොහොමද ?
1. පාසලේදී බොහෝ විභාග අසමත් වීමෙන් පසු එය අත්හැරියේ නැත.
"මම ප්‍රධාන ප්‍රාථමික පාසල් පරීක්ෂණයකින් දෙවරක් අසමත් වීමි, මම තුන් වතාවක් මධ්‍යම පාසල් පරීක්ෂණයෙන් අසමත් වීමි, විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය දෙවරක් අසමත් වීමි" ඔහු කියන්නේ එහෙමයි.
2. ඔහුගේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගණිත අංශයෙන් ලකුණු 120 න් 1 ලකුණක් ලබා ගත්තේය.
ජැක් මා පවසන ආකාරයය විභාගයක් අසමත් වීම එක දෙයකි. විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ විභාගයෙන් 1 එක ලකුණක් ලබා ගැනීම තවත් එකකි. අලිබබා තාක්ෂණික සමාගමක් වුවද, අද පවා ජැක් මා ගණිතය සමඟ පොරබදයි. ඔහුම මෙසේ ද පවසයි.
"මම ගණිතයට දක්ෂ නැහැ, කළමනාකරණය හැදෑරුවේ නැහැ, තවමත් ගිණුම් වාර්තා කියවන්න බැහැ."
ඔබ කුමක් විශ්වාස කලත් ප්‍රකෝටිපතියෙකු වීමට නම්, ගණිතය පිළිබඳ මනා දැනුමක් අවශ්‍ය නොවන බව ඔහුගේ විශ්වාසයයි.
3. ලෝක ප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ඔහු 10 වතාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එය අතහැර දැමීමට ඔහුගේ සූදානමක් නොතිබුණි.
ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයෙන් 10 වතාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුබට නොවී ඔහු සුදුසු ලෙස නම් කරන ලද හැංෂෝ සාමාන්‍ය විශ්ව විද්‍යාලයට ගිය අතර එහිදී ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීනයෙකු බවට පත්විය.
4. රැකියා 30 ක් සඳහා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු සුභවාදීව සිටීම.
විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු ඔහු විවිධ රැකියා 30 කට අයදුම් කළ අතර පසුව ඔවුන් සියල්ලන්ම ඔහුව ප්‍රතික්ෂේප කරන ලදී.
ඔහු පොලිස් නිලධාරියෙකු වීමට පවා ඉල්ලුම් කළේය. සම්මුඛ පරීක්ෂණයේ අවසාන වටයට 5 පස්දෙනෙකු තෝරාගත්තද, අවසානයේදී ජැක් මා හැර අනෙක් හතර දෙනාම තෝරාගෙන ඔහුට දවසේ වේලාවක් පවා ලබා නොදී ඔහුව ප්‍රතික්ෂේප කළහ.
5. KFC විසින් අයදුම් කරුවන් 24 දෙනෙකුගෙන් ප්‍රතික්ෂේප කරන ලද එකම සම්මුඛ පරීක්ෂකයා ඔහු විය.
ඔහුගේ සංචිතයේ සිටි KFC අයදුම්කරුවන් 24 දෙනාගෙන් 23 දෙනෙකු බඳවා ගෙන ඇත. ප්‍රතික්ෂේප කළ එකම තැනැත්තා ජැක් මා විය. ඔහු සිතන්නේ ඔහුට හොඳ පෙනුමක් හා හොඳ පෞරුෂයක් නොමැති වීම එම ප්‍රතික්ෂේප වීමට හේතුව බවයි.
6. අලිබබා සඳහා අරමුදල් සපයන ලෙස සිලිකන් වැලි කණ්ඩායමට එම ව්‍යාපාරික අදහස ඒත්තු ගැන්වීමට ඔහුට නොහැකි විය.
ඔහු අලිබබා ආරම්භ කිරීමෙන් පසුව පවා ඔහු අසාර්ථක විය. පළමු වසර තුනම ලාභයක් වාර්තා කිරීමට ඔහු අසමත් විය. එක් අවස්ථාවක අලිබබා බංකොලොත්භාවයට මාස 18 ක් මෙපිටින් සිටියේය.
ජැක් මා නිහතමානීව පවසන පරිදි; “මම අලිබබා හඳුන්වන්නේ වැරදි 1,001ක් කියායි.”
7. ඔහුගේ අලිබබා හවුල්කරුවන් 18 දෙනාට ඔහු කියා සිටියේ ඔවුන්ගෙන් කිසිවෙකු කළමනාකරණයට බඳවාගත නොහැකි බවයි.
ඔහුගේ සැලසුම වූයේ ඒ වෙනුවට බාහිර කළමනාකරුවන් බඳවා ගැනීමයි. එයද ඉතාමත්ම අසාර්ථක තීරණයක් විය.
නමුත් ලෝක ධනවතුන් අතර අද ජැක් මා අත්පත් කරගෙන ඇති තැන බලන්න. ඔහු ලෝක ධනවතුන් අතර 20 - විසි වන ස්ථානය අත්පත් කරගැනීමෙන් අපට ඉගෙන ගත හැකි පාඩම නම් තමා තමාව ප්‍රතික්ෂේප නොකරන තාක් තමාට ජීවිතයේ ඉදිරි ගමනක් ඇති බවයි.
මා අතීතයෙන් සහ වර්ථමානයෙන් ඔබට ගෙන ආවේ ජනප්‍රිය උදාහරණ දෙකක් පමණි. ඔබ ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට පත්වූ පුද්ගලයන් ගැන සොයා බලන්න. ඔවුන් සියළු දෙනාගේ දක්නට ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ තමා විසින් තමාව ප්‍රතික්ෂේප නොකිරීමේ ගුණාංගයයි. මානසිකව ශක්තිමත් වන්න. ආත්ම විශ්වාසය වර්ධනය කර ගන්න. තමා තමාවම ප්‍රතික්ෂේප කිරීම මෙලොව ඇති විශාලතම ප්‍රතික්ෂේප කිරීමයි. ඔබ වැනි කිසිවෙක් මෙළොව නැත. ඔබ සුවිශේෂී පුද්ගලයකු බව අන් අය පිළිගැනීමට ප්‍රථම ඔබ පිළිගන්න. ඔබ ඔබට ආදරය කරන්න. ගෞරව කරන්න. ඔබට යමක් කළ හැකි බව ඔබ විශ්වාස කරන්න.
මානසිකව ශක්තිමත් අය තමන්ගෙන්ම මෙසේ අසාගනිති, "මෙයින් මා ඉගෙනගත්තේ කුමක්ද?" එබැවින් ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන්ට ඉගෙන ගත හැකිය. ඔවුන් හුදෙක් වේදනාව ඉවසනවා වෙනුවට, එය ස්වයං වර්ධනය සඳහා අවස්ථාවක් බවට පත් කර ගනියි. එදිනෙදා ජීවිතයේදී මුහුණදෙන ප්‍රතික්ෂේප වීම් සමඟ ඔවුන් වඩාත් ශක්තිමත් වේ.
ඔබේ ජීවිතයේ දියුණුව අවශ්‍ය ක්ෂේත්‍ර ගැන ඔබ ඉගෙන ගත්තද? නැතහොත් ඔබව ප්‍රතික්ෂේප කිරීම ඔබ සිතූ තරම් භයානක නොවන බව ඔබ හඳුනා ගත්තද? ප්‍රතික්ෂේප කිරීම හොඳ ගුරුවරයෙකු විය හැකිය. ප්‍රතික්ෂේප කිරීම ඔබට වඩාත් පරිපූර්ණ ලෙස ඉදිරියට යාමට අවස්ථාවක් ලෙස භාවිතා කරන්න.
ඔබට ජය !
අනෙක් අයට බලන්න හොඳයි කියලා හිතෙනවා නම් 🔄 Share කරන්න.
ලිපියේ හොඳ වගේම නරක මට කියන්න ⚡ Comment කරන්න.
ස්තූතියි !
උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න.
©️දිනේෂ් ජයවර්ධන | dineshvoices.lk
No comments
You are WELL COME👏👏😘