තයිරොක්සින් ගැන හරියට දැනගමු.........🚑❤
තයිරොක්සින් ගැන හරියට දැනගමු.........🚑❤
ඔබත් තයිරොක්සින් ගන්නවාද
නිර්මලී හොඳ දැරිවියක්. ඇගේ අම්මා ගැන දක්වන උනන්දුව සායනයේ අනෙකුත් රෝගීන් අතර කැපී පෙනුණා. ඇගේ අම්මා තයිරොක්සින් අඩුකම හින්දා වසර ගණනාවක සිට බෙහෙත් ගත්තා. අම්මගේ රෝගී තත්ත්වය ගැන අම්මටත් වඩා සංවේදී වුණේ නිර්මලී යි.
දවසක් ඇය තම අම්මත් සමඟ සායනයට ආවා. සුපුරුදු පරිදි අම්මාටත් වඩා රෝගය ගැන කතා කළේ නිර්මලී යි.
‘ඩොක්ටර් අම්මාගේ බර ටිකක් වැඩිවෙලා වගේ. ටිකක් වෙනදටත් වැඩිය කම්මැලිකමකුත් පේනවා’
‘ඇයි ඩොක්ටර් එහෙම වෙන්නෙ ?’
ඇත්තටම හේතු කාරණා ගොඩක් නිසා එහෙම වෙන්න පුළුවන්. බොහෝ දුරට තයිරොක්සින් අඩුවන්නට පුළුවන්. මොකද තයිරොක්සින් අඩු රෝගියෙකුගේ බර වැඩිවෙනවා,
- ආහාර අරුචිය, බඩ වේලීම, අලස ගතිය වැඩිවීම, ශීතලට ඔරොත්තු දීම අඩුවීම, කොණ්ඩය තුනී වීම හෝ අධිකව ගැලවී යාම
- සමෙහි ගොරෝසු භාවය
- ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවීම
- මානසිකත්වය දුර්වල ස්වභාවයක් ඇතිවීම
වැනි කාරණා ඉස්මතු වෙනවා නම් තයිරොක්සින් ලැබෙන ප්‍රමාණයේ මදිවීමක් හෝ ශරීරයට තයිරොක්සින් අවශ්‍යතාවයේ ප්‍රමාණය වැඩිවීමක් හෝ ඇති වන්න පුළුවන්.
‘ඒ කියන්නේ ඩොක්ටර් අම්මා ගන්න පෙති ප්‍රමාණය මදිද ?’
ඇත්තටම ඒක මදි කියන කාරණයට අමතරව ගන්නා ආකාරයත්, බෙහෙත් පෙති ගැනත් වඩාත් සැලකිලිමත් වෙන්න වෙනවා.
‘ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඩොක්ටර්. . .’
අපි මේ තයිරොක්සින් පෙති රෝගියාට දෙන්නේ එයාගේ ඇගේ තයිරොක්සින් නිපදවෙන්නේ නැතිනිසා. ඒ නිසා ඒක ජීවිත කාලය පුරාවටම වගේ වෛද්‍ය උපදෙස් මත ගන්න වෙනවා. මේකෙදි අපි ගන්න පෙත්තත්, එහි ගුණාත්මක බවත් පෙත්ත ගන්නා ආකාරයත්, අපට තියෙන අනිකුත් ලෙඩ රෝග හා ඒවාට ගන්නා බෙහෙත් වර්ගත් වැදගත් වෙනවා.
‘ඒ කියන්නේ ඒක ටිකක් සංකීර්ණ තත්ත්වයක් ?’
අපොයි නැහැ. පෙනුමට එහෙම වුණාට අවශ්‍ය වන්නේ සරල උපදෙස් පිළිපැදීමක් විතරයි.
‘ඉතින් අපි මොනවද මේකට කරන්න ඕන ?’
පළවෙනි කාරණය පෙත්ත නොවරදවාම ගන්න ඕන. ඒක දිනපතා එකම වෙලාවක ඒ කියන්නේ බොහෝ වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව උදේට හිස් බඩට ගැනීම වැදගත්. අපි ගන්නා ආහාර සමඟ කළවම් වුණොත් පෙත්ත ශරීරයට උරා ගන්නා ප්‍රමාණයන් අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා උදේ පෙති බිව්වාට පැයකට පමණ පසු උදේ ආහාරය ගන්න පුළුවන් නම්, පෙති ඇඟට උරා ගැනීම වැඩි වෙනවා.
මේක නීතියක් වගේ ක්‍රියාත්මක කරනවාට වඩා වැදගත් වෙන්නේ පුරුද්දක් ලෙස පෙති ගැනීම හා ආහාරය අතර නියමිත පරතරයක් (පැය 1 / 2 හෝ පැයක් හෝ වෙනත් කාලයක්) පවත්වා ගෙන යෑමයි. ඒ වගේ වෙලාවට ශරීරයට හැමදාම එකම තයිරොක්සින් ප්‍රමාණයක් ලැබෙනවා කියලා අනුමාන කරන්න පුළුවන්. වෛද්‍යවරයාට තියෙන්නේ ඒ පෙති ප්‍රමාණය එහා මෙහා කරන එක විතරයි.
‘එතකොට පෙත්තේ ගුණාත්මක භාවය වැදගත් නැද්ද ?’
වෙළෙඳ පොළේ තයිරොක්සින් ඖෂධය ආකාර දෙකකට තියෙනවා. එකක් වෙළෙඳ නාමය යටතේ එන පෙති හා අනෙක ඖෂධීය නාමය යටතේ එන පෙති. මේවා අදාළ බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එන නිසා සාමාන්‍යයෙන් වරදක් සිදුවීමට ඇති ඉඩකඩ අවමයි. ඉඳහිට සිදුවන සිදුවීමක් අපි සාමාන්‍ය වශයෙන් ගන්න හොඳ නැහැ. ඖෂධීය නාමයෙන් එන ඒවා මිලෙන් අඩුවීම රෝගියාට පහසුවක්.
අනෙක් අතට වෙළෙඳ නාමයෙන් එන ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳ ඒවා නිපදවන ආයතන වගකීමක් දැරිය යුතු නිසා, ඔවුන් ඒ පිළිබඳ ඉතා සැලකිලිමත් වෙනවා. රෝගියා කළ යුත්තේ තමන්ගේ වෛද්‍යවරයත් එක්ක සාකච්ඡා කරලා, තමන්ට තමන්ගේ වියදමට ගැලපෙන පෙත්තක් තෝරා ගැනීමයි. එහෙම නැතුව පෙති ගැන අවිශ්වාසයෙන් කටයුතු කිරීම ගැන දෙපාරක් හිතන්නම වෙනවා.
‘ඒ කියන්නේ ඩොක්ටර් තමන්ට ගැලපෙන පෙත්ත දිගටම භාවිත කිරීම වැදගත් කියලද ?’
ඇත්තටම ඔව්. වඩාත් වැදගත් වන්නේ තමන්ගේ වියදමට ගැලපෙන එකම පෙති වර්ගයක් දිගටම භාවිත කිරීමයි. වෛද්‍යවරයාට රුධිරය පරීක්ෂා කරලා ඒ ප්‍රමාණයේ අවශ්‍ය වෙනස්කම් කරගන්න පුළුවන්. එසේම ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්.
මේ ඖෂධවල ගුණාත්මක බව පිළිබඳ මීට වසර 1 1 / 2 කට පමණ පෙර ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා. මේ වන විට එම තත්ත්වය වෙනස් වී තිබෙනවාද ?
මේ ඖෂධය පිළිබඳ කාලයකට ප්‍රථම ඇතිවී තිබූ ගැටලුව තමයි ඖෂධ නිෂ්පාදනයේදී නිසි ගුණාත්මක බවක් නොමැති වීම. එසේ නොමැතිව මෙය බෝතලයේ හෝ දවටනයේ වූ ගැටලුවක් නොවෙයි. ඖෂධය නිෂ්පාදනය වීමේ දීම නිසි ප්‍රමිතියට අදාළව එය නිෂ්පාදනය වූවා නම්, ඉහත ගැටලුව ඇති වන්නේ නැහැ. ඒ අනුව අසුරනය පිළිබඳ ගැටලුවකුත් නැහැ. මෙහිදී අදාළ ඖෂධය නිසි ප්‍රමිතියට අනුව නිපදවීම වැදගත් බව කිව හැකියි.
කෙසේ නමුත් මේ වන විට ඉහත ගැටලුවත් විසඳී තිබෙනවා. ඒ අනුව රෝගියාට විශ්වාසයෙන් යුතුව අදාළ ඖෂධය භාවිත කිරීමේ හැකියාවද තිබෙනවා. මේ අනුව කිසියම් පුද්ගලයෙකු තයිරොක්සින් හෝර්මෝනයේ අඩුවීමකින් පෙළෙනවා නම්, වෛද්‍ය උපදෙස් මත තයිරොක්සින් හෝර්මෝනය අදාළ මාත්‍රාවට අනුවම ලබා ගැනීම ඉතා වැදගත්.
ගුණාත්මක භාවයට අමතරව තව මොනවද ඩොක්ටර් බලපාන දේවල් ?
මම කලින් කිව්වා ආහාරයේ බලපෑම. ඊට අමතරව පෙත්ත නිති පතා පිළිවෙළට ගන්න බැරි වෙනවා. ඒ වෙලාවට කලබල වෙලා වැඩිපුර ගන්න හොඳ නැහැ. ඊළඟ දවසේ නියමිත වෙලාවට ගත්තාම ඇති. හදිසි වෙලා පෙති ගැනීමෙන් මාත්‍රාව වැඩි වී අතුරු ආබාධ ඇති වන්න පුළුවන්. වඩාත් වැදගත් වන්නේ පෙති දිනපතා බොන්න වැඩපිළිවෙළක් ඒ කියන්නේ නියමිත වේලාවක් ඇස ගැටෙන ස්ථානයක් ඒ පිළිබඳ මතක් කිරීමේ ක්‍රමයක් වගේ සැලැස්මක් හදා ගන්න එක. ඊට අමතරව අපි ගන්නා වෙනත් බෙහෙත් වර්ගත් මේ පෙත්තේ ක්‍රියාකාරීත්වයට බලපානවා.
ඒ ගැනත් ටිකක් කිව්වොත් ඩොක්ටර් ? මොකද අපේ අම්මා තව ලෙඩවලට බෙහෙත් බොනවනේ ?
සමහර බෙහෙත් වර්ගවලින් තයිරොක්සින් පෙත්තේ ක්‍රියාකාරී බව වැඩි කරනවා වගේම සමහර පෙති වර්ගවලින් ක්‍රියාකාරී බව අඩු කරනවා. ඒ නිසා ඒ බෙහෙත් වර්ග ගැන වෛද්‍යවරයා එක්ක සාකච්ඡා කළායින් පසුව ප්‍රශ්නයක් ඇතිනම් ඒවා ගන්න වෙලාවල් වෙනස් කිරීම වගේ දේවල් මගින් හා විකල්ප බෙහෙත් පාවිච්චි කිරීම මගින් මෙයට සාධාරණයක් ඉටු කර ගන්න පුළුවන්.
නිර්මලී අම්මාගේ අලුත් බෙහෙත් පරීක්ෂා කරලා මම ඒ ගැන කියන්නම්.
බොහොම ස්තුතියි ඩොක්ටර් මේ ගැන තවත් දැනගත යුතු විශේෂ දේවල් තියෙනවද ?
ඔව්.
තව කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ ඖෂධවල අතුරු ආබාධ (Side effects) හා මාත්‍රාව වැඩි වූ විට දැනෙන රෝග ලක්ෂණ. මේවා ගැනත් වෛද්‍යවරයා එක්ක කතා කරන්න ඕන. තයිරොක්සින් වැඩිවූ විට කලබල ගතිය, නොඉවසිලිමත් බව, හදවතේ ගැස්ම වැඩිවීම, වමනය, පාචනය, හුස්ම ගැනීමේ අපහසුව වගේ දේවල් දැනෙන්න පුළුවන්. මේ වෙලාවට වෛද්‍යවරයා හමුවුණොත් ඔහු ඒ ගැන පරීක්ෂා කරලා බලලා කටයුතු කරාවි.
ඒ වගේ දේ වලින් රෝගියාට දිගටම ගැනීමට අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය නිවැරදිව තක්සේරු කරන්න උදවු වෙනවා. වැදගත්ම කාරණය වෙන්නේ තමන්ට දිගටම අවශ්‍ය බෙහෙත් පෙති ප්‍රමාණය හෝ මාත්‍රාව තීරණය කිරීමට වෛද්‍යවරයාට ටික කාලයක් සමහර විට මාස කිහිපයක් ලබාදීමයි.
උපුටා ගැනීමකි
වෛද්‍ය මහින්ද හේමප්‍රිය
ශික්ෂණ රෝහල
රාගම
No comments
You are WELL COME👏👏😘