අයින්ස්ටයින් සිය බිරියට පැනවූ කොන්දේසි
අයින්ස්ටයින් සිය බිරියට පැනවූ කොන්දේසි
එදා මෙදාතුර ලොව බිහිවූ වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයකු ලෙස අවිවාදයෙන්ම සැලකිය හැකි ඇල්බට් අයින්ස්ටයින් බොහෝ දෙනකු හඳුනන්නේ සාපේක්ෂතාවාදයේ පියා ලෙසිනි. ඔහු 1921 වසරේදී භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය.
මහා විද්‍යාඥයකු වුවත් ඔහු ගත කළේ සැහැල්ලු ජීවිතයකි. ඔහුගේ ජීවන විලාසය, කියුම් කෙරුම්, විනෝදාංශ, සංගීත හැකියාවන් පිළිබඳව බොහෝ දේ ලියවී තිබේ. ඒ අතරින් විවාහ ජීවිතයද සුවිශේෂය.
අයින්ස්ටයින් දෙවරක් විවාහ වූ පුද්ගලයෙකි. ඔහුගේ පළමු බිරිය වූයේ මිලීවා මෙරික්ය. අයින්ස්ටයින් 1896 වසරේදී භෞතික විද්‍යාව සහ ගණිතය පිළිබඳව ගුරු ඩිප්ලෝමාවක් හැදෑරීමට ස්විට්සලන්තයේ සූරිච්හි පොලිටෙක්නික් විද්‍යාලයට ඇතුළත් විය. ඇය එම පාඨමාලාවේ සිටි එකම සිසුවියයි. එමෙන්ම එම පාඨමාලාවට තේරු පත්වුණු පස්වන සිසුවියයි. මිලීවා අධ්‍යාපනයට කොතරම් දක්ෂදැයි එයින්ම වටහා ගත හැක.
පාඨමාලාවේ දෙවැනි වාරය වන විට ඇල්බට් සහ මිලීවා එකිනෙකා කෙරෙහි උනන්දු වීමට පටන් ගන්නා අතර කලක් ගත වන විට ඔවුහු පෙම්වතුන් බවට පත්වෙති. එහෙත් මෙම සම්බන්ධයට ඔහුගේ පවුලෙන් නම් ලැබුෙණ් යහපත් ප‍්‍රතිචාරයක් නොවේ.
මේ අතර පොලිටෙනික්හි ඩිප්ලෝමාව සම්පූර්ණ කරන අයින්ස්ටයින්ට බර්න්හි පේටන්ට් කාර්යාලයේ රැකියාවක් ලැබේ. එහෙත් මිලීවාගේ අධ්‍යාපන කටයුතු අඩාළ වන්නේ ඇල්බට් හා පැවති පෙම් සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස ඇය ගැබ්ගෙන සිටීම හේතුවෙනි. දෙවරක්ම අවසන් විභාගය අසමත් වන මිලීවා සර්බියාවේ වෙසෙන සිය දෙමාපියන් ළඟට යයි. එහිදී ඇය දියණියක් ප්‍රසූත කරන අතර ඇයට ලියිසරල් යනුවෙන් නම තබයි. කෙසේ හෝ දියණිය පිළිබඳව වැඩිදුර තොරතුරක් සඳහන් වන්නේ නැත. ඇය උණ රෝගයකින් මිය ගිය බව පැවසෙන අතර ඇතැම්හු පවසන්නේ කුඩා කලදීම ඇයව දරුකමට හදාගන්නට දෙන්නට ඇති බවයි.
මවුපියන්ගේ විරෝධතා මැද අයින්ස්ටයින් හා මිලීවා 1903 ජනවාරියේදී ස්විට්සර්ලන්තයේ බර්න්හි විවාහ වෙයි. ඔවුන්ගේ පළමු දරුවා වන හාන්ස් 1904 දි උපත ලබන අතර 1910දී එඩ්වඩ් උපත ලබයි. කලක් ගත වන විටදී ඔවුනගේ විවාහ දිවියේ ගැටලු මතුවන්නේ ඇල්බට් සිය පර්යේෂණ කටයුතු හේතුවෙන් කාර්යබහුල වීම නිසාවෙනි.
මේ කාලය තුළ ඔහුගේ රැකියා කටයුතු වෙනුවෙන් එම පවුලට විවිධ රටවලට සංක්‍රමණය වෙමින් ජීවත් වීමට සිදුවේ. මේ අතර 1914 ඔහුට ජර්මනියේ බර්ලින් සරසවියෙන් ආරාධනාවක් ලැබෙන අතර සිය පවුල සමගින් බර්ලින් කරා පිටත්ව යාමට තීරණය කරයි. එහෙත් මිලීවා බර්ලින් වෙත යෑමට කැමත්තක් දක්වන්නේ නැත.
ඒ බර්ලින්හිදී අයින්ස්ටයින්ගේ කුඩා කාලයේ මිතුරියක මෙන්ම ඥාති සොහොයුරියක වන එල්සාද එහි සිටින නිසාවෙනි. අසාර්ථක විවාහයකින් වෙන්වී සිය දියණියන් දෙදෙනා සමඟ තනිවම සිටි ඇය හා අයින්ස්ටයින් අතර පෙම් සබඳතාවක් පවතින බව ඒ වන විට මිලීවාට දැනගන්නට ලැබි තිබිණි. ඔවුන් බර්ලින් වෙත ගියොත් එය තවත් වැඩිදියුණු වේ යැයි මිලීවා සැක කළාය.
ඇයගේ සැකය නිවැරදි බව තහවුරු කරමින් බර්ලින්හිදි ඇල්බට් එල්සාට වඩාත් සමීප වෙයි. එල්සා විවාහ කරගැනීමේ අරමුණින් ඇල්බට් මිලීවාට නිත්‍යානුකුලව වෙන්වමට යෝජනා කළත් ඇය එයට එකඟ නොවේ. එහිදී තවදුරටත් ඇයට ඔහු සමඟ ජීවත්වීමට අවශ්‍ය නම් සපුරාලිය යුතු කොන්දේසි මාලාවක් ඇල්බට් මිලේවාට ඉදිරිපත් කරයි. ඒවා මෙසේය.
"ඔබ මේවා කිරීමට වග බලා ගත යුතුයි: මගේ ඇඳුම් පැලඳුම් සෝදා මැද ඒවා පිළිවෙළට තැබීමට; උදේ දිවා හා රාත්‍රී ආහාර මගේ කාමරයටම ලබාදීමට; මගේ නිදන කාමරය සහ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය දේවල් පිළිවෙළට තැබීමට, විශේෂයෙන් මගේ මේසය තිබිය යුත්තේ මගේ භාවිතය සඳහාම පමණයි"
"සමාජ හේතුන් සඳහා අත්‍යවශ්‍ය නොවන බැවින් ඔබ මා සමඟ වන සියලුම පෞද්ගලික සම්බන්ධතා අත්හැරිය යුතුය. විශේෂයෙන් මා සමඟ නිවසේ වාඩිවී සිටීම, ඔබ මා සමඟ පිටතට යෑම සහ ගමන් කිරීම නැවැත්විය යුතුයි. "
"මා සමඟ ඇති සම්බන්ධතාවයේදී ඔබ මෙම කරුණු අනුගමනය කළ යුතුයි; ඔබ මගෙන් කිසිම සමීප ආශ්‍රයක් බලාපොරොත්තු නොවිය යුතුයි, ඔබ මට කිසිදු විටක අපවාද නොකළ යුතුයි; මා ඉල්ලා සිටින විට ඔබ මා සමඟ කතාව නැවැත්විය යුතුයි; මා ඉල්ලා සිටින විට ඔබ කිසිම විරෝධතාවයකින් තොරව මගේ නිදන කාමරයෙන් කාර්යාල කාමරයෙන් පිටත්විය යුතුයි."
"වචනවලින් හෝ ක්‍රියාවන්ගෙන් අපගේ දරුවන් ඉදිරියේ ඔබ මට පරිභව නොකළ යුතුයි."
කිසිම බිරියක් තම ස්වාමිපුරුෂයාගේ මෙවැනි කොන්දේසි මාලාවක් ඉවසා සිටී යැයි විශ්වාස කළ නොහැකි වුවත් ඇය සිය පවුල රැක මේ අරමුණින් ඒ සඳහා එකඟ වූවාය. එහෙත් ඔහුගේ හිත ඇත්තේ වෙනතක බව කෙටි කලකින්ම තේරුම් ගන්නා මිලීවා දරුවන් දෙදෙනාද කැටුව සූරිච් වෙත යයි. ඉන් පසුව දෙදෙනා නීතියෙන් වෙන් වෙති.
සිය බිරියගෙන් වෙන්වීමට අයින්ස්ටයින් ලියූ දික්කසාද පත්‍රිකාවේ තිබූ අපූරු පොරොන්දුවක් පිළිබඳවද සඳහන් කළ යුතුය. එහිදී ඔහු තමාට අනාගතයේදී හිමිවන නොබෙල් ත්‍යාගයෙන් ලැබෙන මුදල ඇයට ලබාදීමට පොරොන්දු විය. විශේෂත්වය වන්නේ ඔහුට නොබෙල් ත්‍යාගය ලැබෙන්නේ 1921 වීමත් ඇයට මෙම පොරොන්දුව ලබාදෙන්නේ 1919 වීමත්ය.
කෙසේ හෝ පොරොන්දු ප්‍රකාරව නොබෙල් ත්‍යාගය ලැබුණු පසු ඔහුට මිලීවාට එම මුදල් ලබාදුන්නේය.
අයින්ස්ටයින් 1919 ජුනි 02 වැනිදා එල්සා විවාහ කරගනී. එලිසා ඔහු හොඳින් තේරුම් ගත් බිරියක් වූවාය. 1935දී මොවුන් දෙදෙනා ඇමරිකාවට සංක්‍රමණය වන අතර දිගු කලක් හදවත් සහ වකුගඩු රෝගයන්ගෙන් පෙළුණු එල්සා 1936 දෙසැම්බර් 20 වැනිදා මියගියාය. මිලීවාට ඊට වැඩි කාලයක් ජිවත්වීමට වරම් හිමිව තිබිණි. ඉන් දොළොස් වසරකට පසු 1948 අගෝස්තු 4 වැනිදා සූරිච්හිදී මියයන විට ඇයට වයස අවුරුදු හැත්තෑ දෙකකි.
උපුටාගැනීමකි
No comments
You are WELL COME👏👏😘