ඔබත් නිතරම දරුවන්ට කෑ කෝ ගසන තාත්තා කෙනෙක්ද?
ඔබත් නිතරම දරුවන්ට කෑ කෝ ගසන තාත්තා කෙනෙක්ද?
පවුලේ එකම දරුවා වූ තම දියණිය ඉගෙනීමට කිසිදු උනන්දුවක් නොදක්වන බවත්, පාඩම් කරන ලෙස මොන තරම් බල කළත් පොතක් පතක් අල්ලන්නේවත් නැති බවත් කියමින් මවුපිය යුවළක් තම විසිහැවිරිදි දියණිය කැටුව අප වෙත පැමිණියා.
මීට අමතරව ඇය ගමනක් බිමනක් යාමටවත් මිතුරු ඇසුරකටවත් කිසිදු කැමැත්තක් නොදැක්වූ අතර නින්ද නොයාමේ තත්ත්වයකිනුත් පෙළුණා. මේ වසරේ ඇය උසස් පෙළ විභාගයටද මුහුණ දීමට නියමිතයි.
කෙසේ හෝ අප මේ දියණිය තනිව ගෙන විස්තර විමසා සිටියේ මේ සඳහා හේතුකාරක වන කිසියම් වූ තත්ත්වයක් ඇය තුළ තිබේද යන්න දැන ගන්නටයි. එහිදී ඇය කිව්වේ මේ විදිහේ කතාවක්.
මගේ තාත්තා හරිම නපුරුයි. මට සැර වැර කළේ නැති වුණාට තාත්තා පුංචි දේකට පවා අම්මාට හරියට හිත රිදෙන කතා කිය කියා බණිනවා. අම්මා කෑවද බිව්වද මේ කිසි දෙයක් තාත්තා හොයා බලන්නේ නෑ. අම්මාට අසනීපයක් වුණත් කවදාවත් ඒ ගැන තාත්තා උනන්දු වුණේ නෑ. හැම වෙලාවෙම තාත්තා ගෙදර ඉන්න කොට මට ඇහෙන්නේ පුංචි දේකට පවා අම්මාට කෑ ගහන හැටියි.
අපේ අම්මා හරියට හිතින් විඳවනවා. අම්මා අඬ අඬා අම්මගෙ දුක මා එක්ක කියන කොට මට තාත්තා එක්ක පුදුම වෛරයක් ඇති වෙන්නේ. අම්මා ජීවත් වෙන්නේ කිසිම සන්තෝෂයකින් නෙමේ. හැම වෙලාවෙම අම්මා මා එක්ක කියන්නේ “ඔයා හින්දයි දුවේ මං සේරම විඳගෙන ඉන්නේ. නැත්නම් ඔළුව හැරිච්ච අතක යනවා” කියලයි.
පුදුමෙ කියන්නේ අපේ තාත්තා පිට මිනිස්සුන්ට නම් හරිම හොඳයි. කවුරුත් පිළිගන්න එකකුත් නෑ අපේ තාත්තා මේ වගේ කෙනෙක් කියලා. හැම වෙලාවෙම ඇහෙන අම්මගෙයි තාත්තගෙයි මේ කන්දොස්කිරියාව හින්දා ඉගෙනීම විතරක් නෙමේ හැමදේම මට එපා වෙලා තියෙන්නේ”.
එම යුවතිය දීර්ඝ වශයෙන් පැවැසූ විස්තරය තමයි ඒ.
මේ විදිහේ පිරිමින්ව ඔබත් ඕනෑ තරම් දැකලා ඇති. මේක මානසික රෝගයක් නොවෙයි. නමුත් යම් යම් පෞරුෂ විෂමතා මත සමහරුන් තුළ, විශේෂයෙන් සමහර පිරිමින්ගේ මෙවැනි චරිත ලක්ෂණ දක්නට ලැබෙනවා. අක්‍රමවත් ප්‍රචණ්ඩකාරී හැසිරීම් රටාවක් ( passive aggressive behaviour ) පවතින පුද්ගලයන් තුළත් මෙබඳු ලක්ෂණ දැකිය හැකියි.
මෙවැනි අය නිවසේදී බොහෝ ප්රචණ්ඩකාරීයි. බිරිඳගේ අවශ්‍යතා පිළිබඳව සොයන්නේ නෑ. මෙබඳු සමහර පිරිමි බිරිඳ ගැන වගේම දරුවන් ගැන සොයන්නේ බලන්නෙත් නෑ. නිතරම ඔවුන් කරන්නේ තමන්ගේ ගෙදර අයත් එක්ක ගැටීමයි. මෙය ඔවුන්ට පුරුද්දක් වෙලා. නමුත් මේක තමන්ටත් පීඩනයක් ලෙස ඔවුන්ට දැනෙනවා. ඒ නිසා ඔවුන් තමන්ගේ ගෙදර රැඳී හිඳීමට එතරම් ප්රිිය කරන්නේ නෑ.
මෙවැනි පිරිමි බොහෝ විට තමන් උපයන මුදලක්වත් බිරිඳ අතට දීමෙන් වැළකී හිඳිනවා. තමන් උපයන ප්‍රමාණයක් ගැන බිරිඳට දැන ගන්න ඉඩ තියෙන්නෙත් නෑ. ඔවුන් හිතන්නේ බිරිඳට සහ ගෙදර අයට ඒ විදිහට තදින් ඉඳීම නිවැරදි ක්‍රමය කියලයි. නමුත් පිටදී ඔවුන් බොහොම හොඳ පුද්ගලයන් ලෙස හැසිරෙනවා.
අවාසනාවකට මෙවැනි අය තමන්ට මෙවැනි චරිත ලක්ෂණ තියෙන බව බොහෝ විටම පිළිගන්නේ නෑ. ඒකට හේතුව එසේ පිළිගැනීම තමන්ගේ ආත්ම අභිමානයට හානියක් වේ යැයි සිතීමයි. ඒ නිසා මේ තත්ත්වය වෙනස් කර ගන්න ඔවුන් අකමැතියි. විශේෂයෙන් ඕනෑම පිරිමියෙක් තමන්ගේ පෞරුෂ දුබලතාවයක් පිළිගන්න මැලි වෙනවා. ඒකට හේතුව එය තමන්ගේ පිරිමිකමට වෙන මදිකමක් ලෙස පිරිමින් සැලකීමයි. පිරිමියෙක් අනෙක් හැම දේටම වඩා තමන්ගේ පිරිමිකම මහ ඉහළින් සලකනවා.
සමහර පිරිමින් තුළ මේ වගේ චරිත ලක්ෂණ ඇති වීමට කාරණා දෙකක් බලපානවා. එකක් තමයි ජානමය තත්ත්ව. ඒ අනුව පියා මේ විදිහෙ චරිත ලක්ෂණවලින් යුතු නම් ඒ පියාගේ පුතුන්ටත් මේ ලක්ෂණ යම් යම් ප්‍රමාණවලින් හෝ ඇති වීමට තිබෙන අවකාශ වැඩියි.
අනික් හේතුව තමයි පරිසර සාධක. ඒ අනුව පියා මේ විදිහෙ හැසිරීම් රටාවක් තියෙන විට එය කුඩා කල සිට දකින පිරිමි දරුවන්ගේ මනසට ‘මේක තමයි පිරිමියෙකුගේ නියම ස්වභාවය විය යුත්තේ’ කියන හැඟීම කාවදිනවා. විශේෂයෙන් වයස අවුරුදු දොළහක් දක්වා කාලය දරුවෙකුගේ පෞරුෂය වර්ධනය වන අවධියයි. ඒ අනුව කුඩා කල සිට මේ හැසිරීම් රටා පියා තුළින් දකින පිරිමි දරුවන්ගේ පෞරුෂය ඒ ආකාරයට වර්ධනය වීමට විශාල හැකියාවක් තිබෙනවා. ඒ වගේම එවැනි පවුලක පිරිමි දරුවන් සියලු දෙනාටම යම් යම් ප්‍රමාණවලින් හෝ මේ වගේ චරිත ලක්ෂණ උරුම විය හැකියි. ඔවුන් තරුණ වියට පැමිණි පසු ජීවත් වන පරිසරය මත සහ ලබාගත් අධ්‍යාපනය මත බොහෝ දේවල් නිවැරදිව වටහා ගන්නට හැකියාව ලැබීම තුළින් මේ ලක්ෂණ පසුව වෙනස් කරගන්නට ඉඩක් තිබෙනවා. පියා පවුල තුළ දක්වන ප්‍රචණ්ඩකාරී හැසිරීම දකින දියණියන්ගේ මනස වර්ධනය වෙන්නේ ඊට වඩා වෙනස් ආකාරයකටයි. ඔවුන්ට පියා පිළිබඳව තදබල කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීමට හේතුව මව මානසිකව විඳින වද වේදනා දියණියන්ට හොඳින්ම අවබෝධ කර ගන්නට ලැබෙන නිසයි. මේ අනුව බොහෝ විට මෙවැනි දියණියන් පිරිමි සංහතිය පිළිබඳව කලකිරී කවදාවත් විවාහ වෙන්නේ නෑ කියන මතයේ ඉන්නත් ඉඩ තිබෙනවා.
ඊට හේතුව එම ගැහැනු දරුවන්ගේ ළමා වියේ පෞරුෂය වර්ධනය වන අවදියේදී මේ වගේ දේවල් අත්දකින්නට සිදුවන විට “හැම පිරිමියෙක්ම ඔය වගේ තමයි” කියන හැඟීම මනසට කා වැදීම නිසයි.
ඒ වගේම මෙවැනි ස්වාමියෙකු ලබන බිරිඳ බොහෝ විට සැමියාගෙන් පහර කෑම වැනි කායික හිංසාවලට ලක් නොවන විටකදී වුවත්, තදබල ලෙස ඔවුන් මානසික හිංසනයට ලක්වන නිසා ඒ තුළින් ඔවුනට විශාද ( depression ) රෝගය වැළඳීමේ පහසු හැකියාවක් තිබෙනවා. ඒ රෝගයට කිසිදු ප්‍රතිකාරයක් නොකර වසර ගණන් ගතවී අවසානයේ උග්‍ර විශාදය දක්වා ගියහොත් ඔවුන් සිය දිවිනසා ගැනීමේ අවදානමක් ද ඇති විය හැකියි.
ඉහත දැක්වූ සිද්ධියේ විස්තර වූ තරුණ දියණියගේ මවද විශාදයට ඖෂධ ප්‍රතිකාර ගනිමින් සිටින බව හෙළි කර ගත හැකි වුණා.
ඒ නිසා තමන්ගේ බිරිඳට දරුවන්ට ආදරයෙන් සැලකීම, ඔවුන් ගැන සොයා බැලීම, අසනීප වූ අවස්ථාවල පිහිට වීම, ඔවුන් සතුටින් තැබීම සෑම විවාහක පිරිමියෙකුගේම යුතුකමක්. ඒ යුතුකම නොසලකා සිටීමෙන් එම කාන්තාවන් වගේම දරුවනුත් විවිධ මානසික ආබාධවලට ලක්විය හැකියි. අවාසනාවට ඉහත දැක්වූ ආකාරයේ හැසිරීම් රටා ඇති පිරිමි “මේ මගේ හැටි” කියමින් තමන්ගේ ලක්ෂණ වෙනස් කරන්නට අකමැති වන අවස්ථා බහුලයි. නමුත් තමන්ගේ ඒ දුර්වලතා අවබෝධ කරගෙන ඔවුන් මනෝ චිකිත්සක උපදේශනවලට යොමු වෙනවා නම් මේ පෞරුෂ ලක්ෂණ වෙනස් කර ගැනීම අපහසු වන්නේ නෑ. එයින් පවුලේ අනෙක් හැමෝටමත් විශාල සහනයක් සැලසෙනවා.
No comments
You are WELL COME👏👏😘