අත්සන පිළිබඳ දත් නොදත් දෙය
අත්සන ගහන හැමකෙනෙක්ම දැනගතයුතු කරුණු කිහිපයක්
සිය අත්දැකීම් සිහියට නංවමින් "ඔබේ අත්සන ඔබට විශ්වාසදැයි" විමසන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සාම විනිසුරු බී. ජී. පී. ධර්මසේන මහතා 1961 දී රාජ්‍ය සේවයට බැඳී රජයේ දෙපාර්තමේන්තු ගණනාවක පුරා වසර 40 ක රාජ්‍ය සේවයේද ඒ අතරතුරම ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ඉහළ තනතුරක ද වසර 15 කට ආසන්න කාලයක් සේවයේ යෙදී සිටියේය. මේ ඔහුගේ අත්දැකීම් ඇසුරින් සැකසෙන ලිපියකි.
ඔබේ අත්සන ඔබට විශ්වාසද..?
මෙය ඉතා වැදගත් කරුණකි. ඔබ ඔබගේ අත්සන වශයෙන් නමේ මුල් අකුරු පැහැදිලිව ලියා ඉක්බිතිව ලස්සන රවුම් අකුරෙන් නම ලියන කෙනෙක් විය හැක. ඒ අතර ඔබගේ අත්සනට ඉතාමත් සමීප ආකාරයේ අත්සනක් යෙදූ ව්‍යාජ ලියවිල්ලක් ඔබ වෙත ඉදිරිපත් කර මේ අත්සන ඔබේ දැයි විමසුවහොත් එයට විශ්වාසයෙන් යුතුව ඔබට එක එල්ලේ පිළිතුරක් දිය හැකිද? අත්සන ඔබේ අනන්‍යතාව දක්වන ප්‍රථම සාක්ෂියයි.
අත්සනට භාෂා භේදයක් නැත.
සිය අත්සන ලෙස යම් කෙනෙක් කිසියම් හැඩයකට සකස් වූ ඉරක් හෝ වෙනත් සලකුණක් හෝ පාවිච්චි කරන්නේ නම් එය ඔහුගේ හෝ ඇයගේ අත්සනය. අත්සනට භාෂා භේදයක් නැත. එය සිංහල, දෙමළ, ඉංගී්රසි හෝ ජපන් අකුරුවලින් සකස් කරගත් එකක් විය හැකිය. අත්සන මෙසේ විය යුතු යෑයි කිසිවෙකුට අභියෝග කළ නොහැකිය. මෙය බොහෝ දෙනෙක් වරදවා ගන්නා තැනකි. රජයේ ඇතැම් ජ්‍යෙෂ්aඨ නිලධාරීන් පවා සිංහලෙන් සකස් කළ, ලියවිල්ලකට සිංහල අත්සන යොදා එහි ඉංගී්රසි පරිවර්තනයට ඉංගී්රසියෙන් සකස් කළ අත්සනක් යොදනු දැකිය හැකිය. එහෙත් එවැනි අය අදාළ ලිපියේම දෙමළ පිටපතට බොහෝවිට ඉංගී්රසියෙන් සකස් කරගත් අත්සනක් තබන්නේ දෙමළ නොදන්නා නිසා විය හැකිය. නැතහොත් දෙමළ අකුරෙන් සකස් කරගත් තවත් අත්සනක් නොමැති නිසාය.
එක් අයෙකුට තිබිය යුත්තේ එක අත්සනකි.
එක් අයෙකුට තිබිය යුත්තේ එක අත්සනක් බව හැම දෙනෙක්ම අනිවාර්යයෙන්ම අවබෝධ කරගෙන සිටීම වැදගත්ය. එක් එක් අවස්ථාවල නිශ්චිත අත්සනක් නොමැතිව එක් එක් ආකාරයෙන් අත්සන් භාවිත කරන අය විශේෂයෙන් බැංකු ගනුදෙනුවලදී විවිධ අපහසුකම්වලට මුහුණ දෙති.
පාසල් අවධියේම අත්සනක් සකස් කර ගැනීමේ වැදගත්කම
පාසල් අවධියේ විභාගවලට අයදුම්පත් ඉදිරිපත් කරන අවස්ථාවලදීම තමන්ට ආවේණික අත්සනක් සකස් කරගෙන එය පුරුදු වී එම අත්සන සියලු කරුණුවලදී භාවිතයට ගැනීම ඉදිරි අනාගතයට බෙහෙවින් වැදගත් වේ. මුලින්ම අත්සනක් සකස් කරගන්නා විට එය අනෙකුත් අයට පහසුවෙන් අනුකරණය කිරීමට, කොපි කිරීමට හෝ ව්‍යාජ ලෙස භාවිතා කිරීමට නොහැකි වන ලෙස සකස් කර ගතහොත් වඩාත් ආරක්ෂාකාරී වේ.
ගුරු භවතුන්ගේද වගකීමකි
අප සමාජයේ යම් යම් අයගේ අත්සන් වංචනිකව භාවිත කර නොයෙකුත් අක්‍රමිකතා සිදු කරන අවස්ථා සුලබව අසන්නට ලැබේ. එබැවින් පාසල් අවධියේම ඉහත සඳහන් කළ ආකාරයට ආරක්ෂාකාරී ලෙස භාවිත කළ හැකි සංකීර්ණ අත්සනක් සකස් කරගෙන පුරුදු කරගත් විට එය සිය මුළු ජීවිත කාලය පුරාවටම භාවිත කළ හැකිවීමේ වැදගත්කම අ( පො( ස සාමාන්‍ය පෙළ අවධියේම සිසුන්ට අවබෝධ කර දීමට මෙය කියවන ගුරුභවතුන් උනන්දු වන්නේ නම් ඉතා ප්‍රයෝජනවත් වන බව සඳහන් කළ යුතුව ඇත.
හිතා මතාම අත්සන් කිහිපයක් භාවිත කරන අය.
ඇතැම් කෙනෙක් හිතාමතාම අත්සන් කිහිපයක් භාවිත කරන්නේ විවිධ වංචනික ක්‍රියාවන්ට යොදා ගැනීමේ අපේක්ෂාවෙනි. අදත් බොහෝ දෙනෙක් අත්සන් තැබීම යනුවෙන් කරන්නේ නමේ මුල් අකුරු ඇතිව හෝ නැතිව නම ලිවීමය. එවැනි අයගේ අත්සනක අකුරු ශෛලිය, හැඩය හා අකුරු රටාව සියුම්ව අධ්‍යයනය කළ විට අදාළ අත්සන් පහසුවෙන් ව්‍යාජ ලෙස තවත් කෙනෙකුට යෙදිය හැකිවෙයි. ඇතැම් කෙනෙක් ඒ ආකාරයට අත්සනක් භාවිත කරන්නේද වංක අදහසිනි. ඒ තවත් කෙනෙකුට ඒ අත්සන පහසුවෙන් ව්‍යාජ ලෙස භාවිත කිරීමට ඉඩ කඩ සලසනු සඳහාය. පොතක් අත්සන් කර සේවයට වාර්තා කිරීම හා නික්ම යැම සිදු කෙරෙන ස්ථානවල මේ ආකාරයෙන් අත්සන වශයෙන් (මුල් අකුරු වෙන්කර පැහැදිලිව නම ලිවීම) භාවිතා කරන්නේ වෙනත් අය ලවා ව්‍යාජ ලෙස තමන්ගේ සේවයට පැමිණීම හෝ නික්මයැම පහසුqවෙන් සටහන් කරවා ගත හැකි බැවිනි. එකල රජයේ සේවයේ ද පොත් අත්සන් කර සේවයට වාර්තා කිරීම සිදුවූ අවධියේ මෙවැනි ක්‍රියා බහුලව සිදුවූ බව රහසක් නොවේ.
එදා රජයේ සේවයේ මාණ්ඩලික නිලධාරීන් පැමිණීමේ ලේඛන අත්සන් කළේ නැත
එදා 1970 වර්ෂයට කලින් රජයේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන් සේවයට වාර්තා කිරීමේදී හෝ නික්ම යැමේදී පොත් අත්සන් කිරීමක් සිදු වූයේ නැත. මා මුලින්ම සේවයට වාර්තා කළ කාර්යාලයේ දෙපාර්තමේන්තු ප්‍රධානියා අම්බලන්ගොඩ සිට රුහුණු කුමාරි දුම්රියේ අවුත් උදේ 10.00 ට පමණ සේවයට වාර්තා කර කරදරයක් නැතිව සවසටද 3.30 වන විට කාර්යාලයෙන් නික්ම රුහුණු කුමාරි දුම්රියේම ආපසු ගිය ආකාරය මතකය. මාණ්ඩලික නිලධාරීන්ද අනෙකුත් සේවකයන් මෙන් පොත් අත්සන් කර සේවයට වාර්තා කළ යුතු යයි නියම කෙරුණේ 1970 දී සමගි පෙරමුණ ආණ්ඩුව බලයට පැමිණි අවස්ථාවෙන් පසුවය.
වර්තමානයේද සිදු නොවනවා නොවේ
අදටත් පොත් අත්සන් කර සේවයට වාර්තා කරන ඇතැම් ස්ථානවල මේ ව්‍යාජ ක්‍රියාවලිය සිදු වන නමුත් ඒවා සොයා බැලීම එම ස්ථානවල බලධාරීන්ගේ වගකීමක් බැවින් එවන් සේවාවක් විශේෂකොට දැක්වීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු නොවේ. කෙසේ වෙතත් අද බොහෝ කාර්යාලවල ඇඟිලි සටහන් යන්ත්‍ර භාවිත වන නිසා එවැනි වංචනික ක්‍රියා අත්හිටුවී ඇත.
ඇතැම් අඹු සැමියන්ගේ අභ්‍යන්තරික එකඟතාවක් මත
ඇතැම් අඹුසැමියන් පවා ඔවුන්ගේ වැඩ කටයුතු පහසුවෙන් කර ගැනීමට දෙදෙනාගේ අත්සන් හොඳින් හුරුපුරුදු කරගෙන යම් යම් අවස්ථාවල භාවිතා කරනු ලැබේ. "ඔය ලියවිල්ල අත්සන් කරන්න මගේ බිරිඳ හමුවන්නට අවශ්‍ය නැහැ. ඇගේ අත්සන මට හොඳට පුරුදුයි" කියා (කිසියම් හානිකර හෝ වංචනික පරමාර්ථයන් උදෙසා නොවූවත්) ව්‍යාජ අත්සන තැබීමට මා හමුවේ ඉදිරිපත් වූ විවිධ තරාතිරම්වල අය මට හමුවී ඇත. ඇතැම් අවස්ථාවක කෙනෙක් එසේ ඉදිරිපත් වූයේ තම දියණියගේ හා පුතාගේ විභාග ප්‍රවේශ පත්‍රයක අත්සන් තබා මා ලවා සහතික කරවා ගැනීමටය. කරුණු පැහැදිලි කර දී හොඳ හිත රඳවාගෙන මෙවැනි අවස්ථාවල ඉදිරිපත් වූ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ තරමක් අපහසුවෙනි.
අත්සන් පටලවා ගත් විවාහ අපේක්ෂක යුවළක්
මා අසා ඇති අත්සන් තැබීමේ හාස්‍යජනක පුවතක්ද මෙහිදී සිහියට නැගේ. අතීතයේ එක්තරා විවාහ ලේකම්වරයෙකු වෙත විවාහයක් ලියාපදිංචි කරවා ගැනීමට පැමිණි පිටිසර පළාතක වැඩි ඉගෙනුමක් නැති දෙදෙනෙකි. විවාහ ලේකම් ඉදිරියට ගිය විට කියන දෙයක් කරනවා විනා වැඩිපුර යමක් ප්‍රශ්න කරන්නට ඔවුහු බියගුලුකමක් දක්වති. විවාහ ලේකම්වරයා අදාළ වාක්‍යය කියවා පළමුවෙන් සැමියාට අත්සන් කරන්නට දුන්නේය. ලුවිස් අප්පු නමැති ඔහු නමේ මුල් අකුරු භාවිතා කළේ සිංහලෙනි. ඔහු ඒ ගැන ඒ තරම් අවධානය යොමු නොකළත් මුල් අකුරු දෙකේ එකතුව එක්තරා ලිංගික අවයව නාමයකි. අනතුරුව භාර්යාවට අත්සන් කරන්නට කී අවස්ථාවේ අත්සන් කරන්නේ කෙසේදැයි ඕ විමසුවාය. ඔබේ සැමියා අත්සන් කළ ආකාරයට මුල් අකුරු ලියා මැගිලින් යනුවෙන් තමන්ගේ නම ලියන්න කියා උපදෙස් ලැබුණි. බිරිඳ ස්වාමියා අත්සන් කර තිබෙන ආකාරය බලා මුල් අකුරු වෙනුවට සිය ලිංගික අවයවයේ නම ලියා අනතුරුව මැගිලින් කියා ලියුවාය. විවාහ ලේකම්වරයා පත් වූයේ බලවත් අපහසුතාවකටය. තමන්ටම කියා අත්සනක් පුරුදු කරගෙන තිබුණේ නම් ලොකු උගත්කමක් නොමැති කෙනෙක් වුවත් ඒ ආකාරයේ ලඡ්ජාවකට පත් නොවනු ඇත.
කාර්යාලයක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ වගකීමක්
පුරා වසර 22 ඉක්මවූ මාගේ සේවා කාලය තුළ අලුත් පත්වීම් ලබා මා වෙත පැමිණ රාජකාරි භාරගත් සිය දහසක් දෙනා අතුරෙන් අත්සනක් සකස් කරගෙන තිබුණේ සීමිත පිරිසක් පමණි. ඔවුන් බොහෝ දෙනකු මුල් ලිපි ලේඛන අත්සන් තැබීමේදීම ඔවුන්ගේ නම්වල මුල් අකුරු මිශ්‍ර කර සුදුසු අත්සනක් සකස් කරදී භාවිතයට පුරුදු කිරීමට මම උනන්දු වීමි. පාසලෙන් නික්ම විවිධ තනතුරුවල පත්වීම් භාරගැනීමට පැමිණි බොහෝ දෙනෙක් තැබූ ආකාරය වූයේ නමේ මුල් අකුරු වෙන් වශයෙන් ලියා ඉක්බිතිව පැහැදිලිව නම ලිවීමය.
මෙය කාර්යාලයක ඔබ අදටත් මුහුණ දී ඇති ගැටලුවක් විය හැකිය.
විශේෂයෙන්ම රජයේ සේවයේ පත්වීම් ලබා පැමිණෙන අයට උසස් වීම් ලබා කල්යැමේදී විවිධ වගකීම් උසුලන්නන්ටත්, ඉතා වැදගත් රාජකාරි ලිපි ලේඛනවලට අත්සන් තැබීමටත් සිදු වන නිසා සරල අත්සනක් භාවිතයේ තබා ගැනීම කිසිසේත් සුදුසු නොවන බව පෙන්වා දිය යුතුව තිබේ. අද මේ ලිපිය කියවන ඔබත් දැනටම මේ ගැටලුවට මුහුණදෙන බව අවබෝධ වන්නට ඇත යන්න මගේ විශ්වාසයයි. එසේ සිතන්නේ නම් ඔබට ඒ වරද නිවැරදි කර ගැනීමට පුළුවන. එය සරල ක්රියාදාමයකි. එදා රජයේ සේවයේ යෙදී සිටින කෙනෙකුට අත්සන් වෙනස් කිරීම සම්බන්ධයෙන් අදාළ ආකෘතියක් සමඟ නිකුත් වූ භාණ්ඩාගාර චක්‍රලේඛයක් තිබිණි.
එදා භාණ්ඩාගාර චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ බවට පෙරලූ ආකාරය
එවකට රාජ්‍ය පරිපාලන විෂයය පැවරී තිබුණේ මුදල් අමාත්‍යාංශය යටතේ වූ මහා භාණ්ඩාගාරයටය. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධුරයට පත්වී මුදල් අමාත්‍ය තනතුර ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාට භාරදීමේදී රාජ්‍ය පරිපාලන විෂයය ඒ සමඟ එන්. එම්. පෙරේරා මහතාට භාර නොදී එම විෂයය µSලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහතා යටතේ අලුතෙන් ආරම්භ කළ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පවරන ලදී. රාජ්‍ය පරිපාලනයේ වැදගත් විෂයයන් සම්බන්ධයෙන් වූ භාණ්ඩාගාර චක්‍රලේඛ වෙනුවට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නිකුත් වීම ආරම්භ වූයේ එතැන් සිටය. කෙසේ වෙතත් යම් යම් කරුණු සම්බන්ධයෙන් උපදෙස් දී එතෙක් නිකුත්ව තිබූ භාණ්ඩාගාර චක්‍රලේඛ වෙනුවට අලුත් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නිකුත් නොවූ බැවින් ඒ ඒ කරුණු සම්බන්ධයෙන් භාණ්ඩාගාර චක්‍රලේඛද තවදුරටත් ක්‍රියාත්මක විය. අත්සන හෝ නම වෙනස් කිරීම පිළිබඳව භාණ්ඩාගාර චක්‍රලේඛයද ඉන් එකකි. (එහි අංකය මට මතක නැත) ඒ නිසා අදාළ භාණ්ඩාගාර චක්‍රලේඛය අදටත් ක්‍රියාත්මක වන බව මගේ විශ්වාසයයි.
රජයේ නිලධාරියෙකු අත්සන වෙනස් කර ගැනීමේ ක්‍රියාවලිය.
කෙසේ නමුත් එම චක්‍රලේඛය සොයා ගන්නට ඇතත් නැතත් අත්සන වෙනස් කර ගැනීමට අවශ්‍ය නිලධාරියෙකු කළ යුත්තේ "අත්සන වෙනස් කිරීම" ශීර්ෂයෙන් යුත් ප්‍රකාශයක පැරණි අත්සන හා අලුත් අත්සන පැහැදිලිව දක්වා අසුවල් දින සිට නව අත්සන භාවිතා කරන බව සඳහන් ප්‍රකාශයක් සිය දෙපාර්තමේන්තු ප්‍රධානියා මඟින් අදාළ පත්වීමේ බලධාරියා වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමය. එය පිළිගත් බව තහවුරු කර දැන්වූ විට තමන්ටම ආවේණිකව සකස් කරගත් නව ආරක්ෂා සහිත අත්සන නීත්‍යනුකූලව භාවිතයට ගත හැකි වේ. නව අත්සන සරල එකක් නොව කෙනෙකුට පහසුවෙන් අනුකරණය කර ව්‍යාජ ලෙස භාවිත කිරීමට ඉඩකඩ නොමැති සංකීර්ණ එකක් වීම තුළින් ඔබ මෙතෙක් භාවිත කළ අනතුරුදායක ක්‍රියාවලියට සමුදිය හැකිවේ.
වගකීමෙන් තොරව ව්‍යාජ අත්සන් යොදන්නෝ
කිසිදු වගකීමක් නොමැතිව ව්‍යාජ අත්සනක් තබන අය කවදාවත් ඔවුන් නීතියේ රැහැනට හසු නොවනවා යෑයි සිතනවා වන්නට පුළුවන. මගේ සේවා කාලයේ මුල් වසර 03 තුළදීම ව්‍යාජ අත්සන් හඳුනාගන්නා ආකාරය ගැන මූලික අවබෝධයක් ලබාගන්නට අවස්ථාවක් ලදිමි. ප්‍රධානියාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා එක් නිලධාරියෙකු මාරු කර යෑවීමට නිර්දේශ කර අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යෑවුණු ව්‍යාජ ලිපියක් පිළිබඳ සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කිරීමෙන් පසු ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට පැමිණි නිලධාරීන් දිනපතා පැමිණීමේ ලේඛනයේ අත්සන් හා යටකී ව්‍යාජ අත්සන සැසඳීමට කටයුතු කරනු දුටිමි. මෙය සිදු කරන ආකාරය ගැන අවබෝධයක් ලබා ගැනීමට උනන්දු වූ මට දැන ගැනීමට හැකි වූයේ එකිනෙකා යමක් ලිවීමේදී අතේ ඇති වන චලන සියුම්ව පරීක්ෂා කර සස¹ බැලීමේදී ව්‍යාජ අත්සනක් යෙදූ සැකකරුවෙකු හඳුනාගත හැකි වන බවයි. ඔබත් මමත් ලියන අකුරුවල හැඩය හා ශෛලිය ඇතැම් විට බෙහෙවින් සමාන වුවත් එම අකුරු ලියන අවස්ථාවේ අදාළ තැනැත්තාගේ අතේ ඇති වන චලන අනුව අප එකිනෙකාගේ අකුරු හඳුනා ගැනීමට හැකි වන බව එදා මම අධ්‍යයනය කළේ වසර කිපයකටත් ඔබ්බෙහිදීය. අද එවන් පරීක්ෂණ සඳහා වඩාත් නවීන ක්‍රම භාවිතවනු ඇති බව ව්‍යාජ අත්සන් තබන්නන් අවබෝධ කර ගැනීම මැනවි.
කල්ගතවීමේදී අත්සන විවිධ හේතු නිසා වෙනස්විය හැකිය.
ඔබේ අත්සන කල්ගතවීමේදී ඔබ නොසිතන පරිදි සියුම්ව හෝ වෙනස්විය හැකි බවද මතක තබාගත යුතුය. විශේෂයෙන් ඔබ ළමා අවධියේ හෝ තරුණ වයසේදී යෙදූ අත්සන ඔබගේ අකුරු හැඩය වෙනස්වීමත් සමඟ අවුරුදු 25 ක් හෝ 30 ක් ගත වීමේදී වෙනස්වනු ඇත. පාසලෙන් නික්ම යාමට පෙර ලියූ ලස්සන අකුරු සරසවි අධ්‍යාපනයට පිවිස සරසවියේදී ශීඝ්‍රයෙන් දේශන සටහන් ලියා ගැනීමට සිදුවූ විට කෙනෙක් නොදැනුවත්වම එදා ලස්සනට ලියූ රවුම් අකුරු වෙනස් වූ බව උසස් අධ්‍යාපනයට පිවිසි බොහෝ දෙනෙක් කියන කතාවකි.
විශේෂයෙන් බැංකුවේදී හෝ වෙනත් එවැනි ආයතනවලදී ඔබේ අත්සන වෙනස් වූ ස්වභාවයක් දක්නට ලැබුණු විට අදාළ ආදර්ශ අත්සන් කාඩ්පතක් යළි ලබාගන්නේ එබැවිනි.
අත්සන වෙනස්වූ විට ගතයුතු පියවර
නිදර්ශනයක් වශයෙන් ඔබගේ ජීවිත රක්ෂණ ඔප්පුව අවුරුදු 25 ක් හෝ 30 ක කාලයකට ලබාගත් විට එම රක්ෂණ ඔප්පුව ලබාගත් දිනයේදී ඔබ ඉදිරිපත් කළ රක්ෂණ යෝජනා පත්‍රයේ අත්සන කල්ගතවීමේදී බොහෝවිට වෙනස්ව තිබෙන්නට පුළුවන. එවැනි අවස්ථාවක ඔබ යම් වන්දි ඉල්ලීමක් ඉදිරිපත් කළ විට අත්සන නොගැළපීමේ ගැටලුව ඇති වන අවස්ථා සුලබය. එබැවින් ඔබේ අත්සන කල්යැමේදී වෙනස්ව ඇත්නම් වහාම අත්සන වෙනස් කිරීමේ ප්‍රකාශයක් රක්ෂණ ඔප්පුවට අදාළව භාරදී තිබුණ විට වන්දියක් ඉල්ලීමේදී අත්සන පිළිබඳව ගැටලුව මතුවන්නේ නැත. එය එක් නිදසුනක් පමණි. මෙසේම අර්ථසාධක ප්‍රකාශන ආදී කල්ගතවී ප්‍රයෝජනයකට ගැනීම සිදුවන සෑම ලියවිල්ලක් සම්බන්ධයෙන්ම අත්සන වෙනස් වීම ගැන අවධානය යොමු කර තිබීම ප්‍රයෝජනවත් වේ. නැතහොත් දිවුරුම් ප්‍රකාශ මඟින් අත්සන වෙනස් වීම තහවුරු කරන්නට සිදු වෙනවා ඇත. විශේෂයෙන් කාන්තා පක්ෂයේ ඇතැම් අය විවාහයෙන් පසු ස්වාමියාගේ නම භාවිතයට ගත් විට තමා කලින් භාවිත කළේ නමට අනුරූප වූ අත්සනක් නම් නම වෙනස් කිරීම සමඟ අත්සනද නීත්‍යනුකූලව වෙනස් කර ගැනීම අදාළ පරිදි කටයුතු කළ යුතුවේ.
කෙටි අත්සන හා දිග අත්සන
මෙය වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ තවත් ඇතැම් කෙනෙක් වරද්දා ගන්නා අවස්ථාවකි. අප යම් ලියවිල්ලක් සකස් කර අත්සන තබන්නට කියූ විට දිග අත්සනද කොට අත්සනද කියා විමසන අය වෙති. නැතහොත් විමසීමෙන් තොරව අත්සන වෙනුවට නම ලියති. මේ ඔබේ හරි අත්සනද විමසූ විට ඔය මගේ කොට අත්සන කියා මුලින් ලියූ නමට තවත් මුල් අකුරු එකක් දෙකක් එකතු කරති. එවැනි අවස්ථාවල අත්සන විය යුත්තේ එකක්ම බවත් පැහැදිලි කර දීමට සිදුවූ වාර අනන්තය.
කෙටි අත්සන් බොහෝ විට කාර්යාලවල ලිපි පිටපත්වලට හෝ අනෙකුත් කාර්යාල සටහන්වලට තැබීමට සකස් කරගන්නා නමේ මුල් අකුරු සම්මිශ්‍රණයක් හෝ සිය අත්සනේම කොටසක් හෝ වෙනත් ආකාරයකට තමන්ටම ආවේණිකව පහසු පරිදි භාවිතයට සකස් කර ගන්නා සලකුණක් පමණි. එවැනි සලකුණක් දක්වන කෙටි අත්සන නීතිය ඉදිරියේ පිළිගන්නා අත්සනක් නොවේ. කෙටි අත්සනද මේ ආකාරයෙන්ම විය යුතු යෑයි නියම කළ නොහැක. කෙසේ වෙතත් එක් අයෙකුට දිග අත්සන හෝ කෙටි අත්සන යනුවෙන් කිහිපයක් භාවිතා කළ නොහැකි බවත් තබාගත යුත්තේ එකම අත්සනක් බවත් වටහා ගැනීම වැදගත් වේ. සැ යු. අධිකරණ විනිසුරුවරුන්ගේ කෙටිඅත්සන නිතිය ඉදිරි පිට පිලිගනු ලබයි
ඇඟිලි අත්සන
අත්සන් කිරීමට අකුරු කොහෙත්ම නොදන්නා අයෙකුගේ අත්සනක් තැබීමට අවශ්‍ය වූ විට සිදු කරන්නේ වම් මාපට ඇඟිලි සලකුණ තැබීමය. එහිදී මෙය අසවල් අයගේ වම් මාපට ඇඟිලි සලකුණ යෑයි එම ඇඟිලි අත්සනට පහළින් සඳහන් කළ යුතුය. එය වඩාත් නීත්‍යනුකූල වන්නේ එම ඇඟිලි අත්සන් සලකුණ සමාදාන විනිශ්චයකාරයෙකු ඉදිරිපිටදී තබා සහතික කිරීමෙනි.
බී. ජී. පී.ධර්මසේන
No comments
You are WELL COME👏👏😘