පොලීසියකට යද්දි නීතිඥයකු (lawyer) එක්ක යන්න පුලුවන්ද?
පොලීසියකට යද්දි නීතිඥයකු (lawyer) එක්ක යන්න පුලුවන්ද?
_____________
පොලීසියට නීතිඥ මහතකු රැගෙන යන්න නීතියේ අවසර තියනවාද? මේක බොහෝ අය අසන ප්‍රශ්නයක්.
මේ ප්‍රශ්නේ බොහෝ කලකට පෙර ඉතා උසස් නීතී නිලධාරීයකුගෙන් ඇහුවම එතුමා කිව්වේ විමර්ශන වලට බාධානොවන ආකාරයෙන් හැකියි කියලයි. වෙනත් විදියකින් කියනව නම් sight but not in the site කියන එක තමයි ඔහු කිව්වේ. ඒ කියන්නේ පෙනෙන දුරින් නමුත් එතැනම නොවේ කියන එකයි. කොහොම වුනත් මෙය විවාදසම්පන්නයි.
• FCID එකට කාටවත් යන්න දෙන්නෙ නැහැ. නීතීඥයින්ට මග නවතින්න වෙනවා.
• CID එක ඇතුලට සැකකරු සමග යන්න දෙන්නේත් නැහැ.
• TID එකේදි අවසර අරගෙන ටික වෙලාවකට පොලිස් නිලධාරීයකු ඉදීරීයේ කතා කරන්න පුලුවන්. නමුත් විමර්ශන වලට සම්බන්ද වෙන්න හා කට උත්තර දෙනකොට එසේ සිදු කළ නොහැකියි.
මේ තත්ත්වය සමහර පොලිස් ඒකක වල ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ටම ආවේනික ක්රමයකටයි. ඒවා සමග ගණුදෙනු කරන්න වෙන්නේ ඉතා සූක්ෂමව තෝර බේර ගත්ත වචන හා සැලස්මකට අනුවයි. එහොම නොවුනොත් සේවාදායකයාත් අසරණ වෙනවා .
සමහර අවස්ථා වලදි පොලීසිය ඇතුළට මම ගිය වෙලාවල ඇතුලේ ඉන්න සමහර සේවදායකයන් කියලා තියනවා මගේ සේවය අවශ්‍යය නැහැ කියලා. ඒ සේවාදායකයාගේ පවුලේ සාමාජිකයෝ කියනවා ‘අනේ යන්න කියල‘.
මොකද සේවදායකය එහෙම කියන්නේ බයට හෝ බය කිරීමකදියි. නමුත් ගෙදර අය දන්නවා තත්ත්වයේ බරපතල කම. එතකොට මේ උභතෝකොටිකය විසඳ ගන්නේ කෙසේද ??
⭕සාමාන්‍ය පොලීසීයක් නම් 1758/36 ගැසට්ටුවට අනුව පොලිස් ආඥා පනත අනුව පොලිස් නිළධාරීන් ක්‍රියාත්මක විය යුතුයි.
⭕මෙහි අවසානයේ අමුණා ඇති ලින්කුව එම ගැසට්ටුවේ ඉංග්‍රීසි පිටපතයි. පොලිස් නිළධාරීන් මේ අනුව ක්‍රියාත්මක නොවන අවස්ථාත් තියෙනවා. එවැනි අවස්ථා වලදි පොලිසිය සමග නීතිඥ අපි අතර උණුසුම් කතා බහක් ඇති කර ගන්න එක ඒ තරම් සුදුසු නැහැ.
මම දන්න නීතිඥවරයෙකුට පොලිසිය අයහපත් අන්දමට සැලකුව නිසා එතුමා මේ ලගදි ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කලා.
⭕ඉහත කී ගැසට්ටුව අනුව පොලිස් ආඥ පනතේ 3 වන රෙගුලාසීයේ කාරණා වලදී පොලීසීය නීතීඥ මහතුන්ට ආචාරශීලී විය යුතු බව සහ සහය වන්න අවශ්‍ය බව සදහන් කරලා තියෙනවා. එය පොලිසිය සම්බන්ධයෙන් නීතිඥවරයෙකු දැමූ මූලික අයිතිවාසිකම් නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතිවු එකගතාවයක්.
⭕නීතිඥවරයකු පොලිසියකදි තම නිල ඇදුම හා නීති හැදුනුම්පත හෝ නීතිඥයකු වශයෙන් සටහන් කර තිබෙන ජාතික හැදුනුම්පත ඉදිරිපත් කළ යුතු වෙනවා. එවිට නීතිඥවරයාට අවශ්‍ය සහය පොලිසිය විසින් ලබා දිය යුතු වෙනවා. තම සේවාදායකයා නියෝජනයට හා තම සේවාදායකයාගේ ලැදියාවන් වෙනුවෙන් පෙනී සිටීමට හා කාරුණිකව හා ගෞරවාන්විතව සැලකුම් ලැබීමට හා තම මතයට සාවධානව ඇහුම්කන්දීමක් ලබා ගැනීමට නීතිඥවරුන්ට අයිතියක් තියෙනවා. මෙය සේවාදායකයන්ටත් මහගු පිටිවහලක් වෙනවා.
මා නීතීඥවරයකු වශයෙන් අනන්තවත් අවස්ථාවන්හී මගේ සේවාදායකයන් නියෝජනය කිරීමට පොලීසීයට ගොස් තිබෙනවා. මගේ බොහෝ අත්දැකීම් අමිහිරී වන අතර සමහර අත්දැකීම් අතිශයින්ම සුභවාදී වෙනවා. බොහෝ නිලධාරීන් ඉහත ගැසට්ටුව අනුව ක්‍රියා නොකළත් එම ගැසට්ටුවටත් ඉදීරීයට යමින් නීතීඥවරුන්ට සලකන පොලීස්මහත්වරු මට මුණ ගැසී තියෙනවා.
යුරෝපයේ හෝ ඇමරිකාවේ ඇති බොහෝ අයිතිවාසිකම් අප පොලීසිය තුල සේවදායකයන්ට නැහැ. ඒව කෙමෙන් කෙමෙන් වර්ධනය කල යුතු ඒවායි.
මා පෙර කීවාසේ උණුසුම් කතා බහ හෝ උද්වේගශීලී කතාබහ නීතීඥයින්ට පොලීසීයේදී තරම් නොවේ. මන්ද අප සිටිනුයේ අසමබිමකය. ඒනිසා අප මතක තබා ගත යුතු කාරණය වන්නේ අපගේ මැදීහත්වීම සේවාදායකයා සඳහා සහ ඔවුන්ගේ ආරක්ෂාව මිස වෙනත් කරුණකට නොවන බවය
යුක්තිය සොයා යෑම අධිකරණයේදී මිස ඉන් පිටත නොවේ. ඔබට කළ හැක්කේ ඔබට අකටයුතු කම් කරන පොලීසීයක නම් ඔබගේ පැමිණීම සනිටුහන් කිරීම හා එම අකටයුතුකම් සටහන් කර හා ඒවා අධිකරණයට වාර්ත කිරීමයි.
සමහර පොලිස් නිලධාරීන් නීතිඥවරුන්ට නීතී තර්ක උසාවියේ කරන ලෙස පැවසු අවස්ථා ඇත.. එමෙන්ම ගැසට්ටුව අනුව අපට තර්ක කිරීමට හෝ කතා කිරීමට හෝ මැදහත්කාරකම් කිරීමට අවස්ථාව නොදෙන විට එසේ අපට හැකී බව පමණක් කියා, එය අපගේ අයිතියක් බව කියා නිශ්ශබ්ද වන්න.
මන්ද ගැටුම අප කල යුත්තේ එහි නොවේ. එය අධිකරණයට වාර්තා කරන්න.
යම් සේවාදායකයකු සැකකරුවකු වන විට එම සැකකරුව භාර දීමට නීතීඥවරුන්ට අවසර ඇති අතර එම භාර ගැනීම ස්ථානාධිපති හෝ ඊලඟ නිලධාරීයා විසින් කල යුතු අතර එය නීතීඥවරයකු මගින් කල භාරවීමක් ලෙස සදහන් කර දිනය හා අනෙකුත් අවශ්‍යය සටහන් තැබීය යුතුය.
⭕ඒ වගෙම මේ 1758/36 ගැසට්ටුවේ රෙගුලාසී කඩන්න කිසිම නිලධාරියෙකුට අයිතියක් නැහැ. තමන්ට මෙම ගැසට්ටුව අනුව තිබෙන අයීතීවාසිකම් පොලීසියේදී ප්‍රකාශ කළ යුතු වෙන නිසා ගැසට්ටුව කටපාඩමින් මතක තබා ගන්න.
ඒ වගේම එය තමන් දන්නා බව පොලිස් නිළධාරීන්ට කියන්න.
මම නම් කිසිම සේවාදායකු නීතිඥයකු නොමැතිව පොලිසියට යාම නිර්දේශ කරන්නේ නැහැ.
සේවාදායකයනුත් පැමිණිලි කිරීමකදි, කට උත්තර ලබා දීමෙදි හෝ විමර්ශන කටයුත්තකදි සෑම විටම නීතිඥවරයකු සමග යෑම සුදුසු බව මතක තබා ගත යුතුයි.
⭕මෙවැනි අකටයුතුකම් නියාමනයට අධිබලැතී නියාමන කමිටුවක් නීතීඥ සංගමයේ සභාපති, නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීයකු, පොලිස් දෙපාර්තමේන්තුවේ නීතී අධ්‍යක්ෂක හා පොලිස් කොමිසමෙන් එහි කොමසාරිස්වරයකුගෙන් සමන්විතව පත් වී තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තු නිලධාරියා එහි සභාපති ලෙස නිල බලයෙන් පත්වෙනවා.
⭕මෙම කමිටුවට පොලිස්පතිට පොලිස් කොමිසමට හා නීතිපතිට වාර්තා සැපයිය හැකි අතර මෙය උල්ලංගනය කරන පොලිස් නිලධාරීන්ට පොලිස් ආඥා පනතේ 55 වන අධිකාරියට අනුව දඬුවම් ලැබීමටත් විනය ක්‍රියාමාර්ග වලට යටත් වීමටත් සිදු වෙනවා.
ඒ ආකාරයට නීතිඥවරුන් තම සේවාදායකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සුවිශේෂී අයිතිවාසිකම් වලට හිමිකම් කියනවා.
ඉතින් අපිට ඉතා හොඳ නීතී පද්ධතියක් තියෙනවා, ඒවා ක්‍රියාත්මක කරන්න ඔබත් පෙරමුණ ගන්න.
- නීතීඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් සම්පාදිත සටහනකි.
No comments
You are WELL COME👏👏😘