ඔබ හෝ ඔබේ දරුවා පරිගණක ක්‍රීඩාවල යෙදෙන්නෙක්ද?
ඔබ හෝ ඔබේ දරුවා පරිගණක ක්‍රීඩාවල යෙදෙන්නෙක්ද?
නැත්නම් ඊටම ඇබ්බැහි වෙලාද?
ඒත් නැත්නම් ඔබේ දරුවාටත් ඊට අවසරය දෙන්නවද නැද්ද කියල හිත හිත ලත වෙන කෙනෙක්ද ?
එහෙනන් කියවන්න.
අද දරුවාගේ පටන් යෞවන යෞවනියන් දක්වා වූ පිරිස් පරිගණක ක්‍රීඩා සඳහා යොමුව සිටීම බොහොමයක් මාපියන් ගේ සිතට වඩ වඩාත් රිදුම් දෙන කාරණයක් වී ඇත. මේ නිසාම පරිගණක ක්‍රීඩාවලින් දරුවන් තරුණ තරුණියන් සම්පූර්ණයෙන්ම ඈත් කළ යුතු ද?
පාසලේ දෙමාපිය රැස්විමකදී, රූපවාහිනි, ගුවන්විදුලි සාකච්ඡාමය වැඩසටහනකදී ඇතුළු මේ සියලු අවස්ථාවල දි විද්වත් පිරිස් වැඩි අවධානය යොමු කරනුයේ පරිගණක ක්‍රීඩාවලට යොමුවීම නිසා දරුවන් අත්කර ගන්නා අනිසි ප්‍රතිඵල පිළිබඳ වෙතයි. එය යම්තාක් දුරකට සත්‍ය වුවත් පරිගණක ක්‍රීඩාවල නියැලෙන්නන් අත්පත් කරගන්නා වූ වාසි සහගත තත්ත්වයන් නැත්තේ ද නොවේ.
පරිගණක ක්‍රීඩාවක් බොහෝවිට විනෝදාස්වාදය පමණක්ම සපයන්නක් නොවේ. ඉන් ඔබ්බට ගිය යමක් දරුවන්, යෞවන යෞවනියන් කරා ළඟාවන්නේ නම් නිරතුරුවම එහි අනිටු ඵල පිළිබඳම සිතිය යුතු නැත.
මාපිය අවධානය
මෙහිදී විශේෂයෙන් ම දරුවන් සඳහා නම් ඔවුන් නියැලෙන පරිගණක ක්‍රීඩාව පිළිබඳ අවධානයෙන් පසුවීම මාපියන්ගේ වගකීමකි. ඇතැම් පරිගණක ක්‍රීඩා එහි නියැළෙන්නන් ගේ ධාරණ ශක්තිය වැඩි දියුණු කරයි. පරිගණක ක්‍රීඩාවක් ඉතා සුළු වේලාවක දී තරග කළයුතු නිසාත් ඉක්මනින් ලකුණු රැස් කළ යුතු නිසාත් එහිදී වඩාත් නිවැරැදි ක්ෂණික තීරණ ගත යුතු වේ. එසේ නම් වඩාත් නිවැරැදි ක්ෂණික තීරණ ගැනීමේ ක්‍රියාවලිය ඔවුන් ප්‍රගුණ කරයි. නිර්මාණශීලීත්වය ද වර්ධනය කරයි.
ජයටැඹ කරා යන ගමනේ දී
බොහෝ විට මෙම ක්‍රීඩාවන් පරිගණකය සඳහා ඇතුළු කරනුයේ පැතිකඩ ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරමිනි. මෙහිදි තරගයක් ජය ගැනිම සඳහා වූ මාවතක් තිබේ. එය එක්වරම ළඟා කරගත නොහැකි දෙයක් වන අතර ඒ සඳහා පියවර කිහිපයක් ම පසු කළ යුතු වේ. පරිගණක ක්‍රීඩාවේ නියැළෙන්නා එය ප්‍රගුණ කරන අතර ප්‍රායෝගික ජිවිතයේ දී එම අත්දැකීම් ඇසුරු කොට ගැනිම තමා සතු වගකීමකි. පරිගණක ක්‍රීඩාවකදී හුදෙක්ම තරග ජයග්‍රහණයක් සඳහා ඉලක්කයක් පසුපස හඹා යෑම අත්‍යවශ්‍ය කාරණයකි. එහිදී කෙටි මාර්ග අනුගමනය කිරිම, වංචනික අන්දමින් ක්‍රියාකිරිමට ඉඩක් නැත. මෙම කාරණය ද ප්‍රායෝගික ජිවිතය සමඟින් ගළපා බලන්නට සිතන්න.
දැඩි අධිෂ්ඨානයක්
මෙසේ ඉලක්කයක් කරා දැඩි අධිෂ්ඨානයෙන් යන ගමනක දී කොතෙකුත් බාධක හමුවේ ඒ කිසිවකුට ඉඩක් ලබා නොදිය යුතු වේ. සැබෑ ජීවිතය ද රෝස මල් ඇතුරු යහනාවක් නොවේ. බාධක කම්කටොළු මතින් යන ගමන අත්දැකීම් අතින් ද පූර්ණ වූවකි.
නමුත් වද්‍ය විද්‍යාත්මකව පරිගණක ක්‍රීඩා මොළයට අහිතකරද ?
පරිගණක ක්‍රීඩාවලට එල්ලවන ප්රබලතම චෝදනාව වන්නේ ක්‍රීඩකයන් එයට ඇබ්බැහි වීමයි. මේ ක්‍රීඩාවල සිටින සමහර චරිත සමග අදාල ක්‍රීඩකයන්ගේ ජිවන පුරුදු තේරීම් හෝ රුචි අරුචිකම් ගැලපීම ක්‍රීඩාවේ කතාව සමග ක්‍රම ක්‍රමයෙන් බද්ධ වීම විය හැකියි. ඒවගේම ක්‍රීඩාවේ එක අදියරක් අවසන් කළවිට ලැබෙන වරප්‍රසාද හා තෘප්තියද මෙයට මෙයට හේතු වෙනවා.Online Multiplayer ක්‍රීඩාවලට දරුවන් වැඩි වශයෙන් ඇබ්බැහි වන බව අනාවරණය වී ඇත. ඒකට හේතුව වෙන්නේ වෙනත් පුදගලයෙකු සමග ක්‍රීඩා කිරීම පරිගණකයක් සමග ක්‍රීඩා කිරීමට වඩා හැම විටම ආස්වාදජනක හා අපුර්ව අත්දැකිමක් ගෙන ඒමයි. කෙසේ වුවද ඇබ්බැහි වීම හැරෙන්නට පරිගණක ක්‍රීඩාවන් හරහා මොලයේ ඉදිරිපස කොටසේ Frontal Lobe උත්තේජනය වන බැවින් සැලසුම් කිරීමේ හැකියාව, අවධානය රඳවා ගැනීමේ හැකියාව දියුණු වන බවද ඔප්පු වී ඇත.
පරිගණක ක්‍රීඩා දරුවාගේ මොළයට හිතකරද ?
පරිගණක ක්‍රීඩා ක්‍රම ක්‍රමයෙන් තරඟකාරී බව හා අපහසු බව වැඩිවන ලෙස සැලසුම් කර ඇති බැවින් අපගේ හැකියාවන් ක්‍රම ක්‍රමයෙන් වැඩිවන ප්‍රබලත්වයෙන් අභියෝගයට ලක් කරයි. ඒ නිසා ක්‍රම ක්‍රමයෙන් පරිගණක ක්රීඩාකයාගේ මොළේ ධාරිතාවයෙන් සියයට සීයක්ම භාවිතා වන තැනට ගෙන ඒමට ගේම්ස් වලට හැකියාවක් තියෙනවා. නමුත් මේකෙන් අදහස් කරන්නේ මිනිස් මොලයේ සීයට සීයක ධාරිතාවය නෙවෙයි. මිනිසෙකු තමාගේ මොළයෙන් භාවිතයට ගන්නේ 2% පමණ ප්‍රමාණයක්. පරිගණක ක්‍රීඩා මගින් විවිධ මානසික ක්‍රියාකාරකම් වර්ධනය කරවනවා වගේම අවධානය රඳවා ගැනීමේ හැකියාවත් ඒ අතර ප්‍රමුඛස්ථානය ගන්නවා. ඊට අමතරව දර්ෂණ පථයෙහි ඇති වස්තුවලින් තම කාර්යයට අවශ්‍ය දේ ක්ෂණිකවම හඳුනාගෙන අනවශ්‍ය දේ ක්ෂණිකව බැහැර කිරීමටත් පරිගණක ක්‍රීඩා හරහා හැකියාව ලැබෙනවා.
වැඩිහිටියන්ට මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවද?
සමස්තයක් විදියට ගත්තම පරිගණක ක්‍රීඩාවලින් ක්‍රීඩකයන්ට හිතකර සාධක රැසක් සමග මොළය වර්ධනය වීමටත් උපකාර වෙනවා. ඒවගේමයි මේ තුලින් විනෝදාස්වාදය ලබාගන්නත් පුළුවන්. කොහොම උනත් මේවට ඇබ්බැහිවීම, නරක ආදර්ශයන් ගැනීම නම් වැරදියි. ඒ නිසා පරිගණක ක්‍රීඩා ලෝකයේ සිදු වන දේවල් ඒ ලෝකයටම පමණක් සීමා කරගෙන ඒ තුලින් විනෝදාස්වාදයක් ලබා ගැනීම අපි කාටත් හොඳයි. එසේම ක්‍රීඩාවලට සමාන සාමාන්‍ය ක්‍රීඩා වලින්ද මොළය වර්ධනය වීම හා ආස්වාදය ලැබෙන නිසා මිතුරන් එක්ක ” Clash Of The Clans” වගේ ගේම්ස් විතරක්ම නැතුව ක්‍රිකට් ,වොලිබෝල් , බැඩ්මින්ටන්, එල්ලේ වගේ ක්‍රීඩාවක නිරත වීමත් ඉතා හොඳයි. එතකොට අපේ කායික වර්ධනයටත් සෞඛයටත් නිරෝගී බව ලැබෙනවා.
ක්ෂේස්ත්‍රය පිළිබඳ යමක්.
දියුණු වන ලෝකයේ Computer Games, Mobile Games කියන්නෙත් කලාවක්. සහ මනස වෙහෙසවමින් ක්‍රීඩා කරන අති දැවැන්ත ක්ෂේත්රයක්. කොච්චරද යත් 2020 වසර වන විට මෙම ක්ෂේත්රයෙහි ලොව පුරා ආදයම ඇ. ඩොලර් බිලියන 165. 9 ක් බව විශ්ලේෂකයන් පෙන්වාදෙනව. ඉතින් අද ඒ තුළ ක්‍රීඩයකයන්ට ජාත්‍යන්තර මට්ටමින් තරග වදින්නත්, වෘත්තීය මට්ටමින් නියැලෙමින් මුදල් උපයන්නත් අවස්ථාව උදාවෙලා තියෙන වගේම, ඒ ආශ්රිත රැකියා සහ නව ව්‍යාපාර අවස්ථාවන් වගේම මේ වෙනුවෙන්ම නව උපාධි, පාඨමාලා පවා බිහි වෙලා තියෙනවා.
නමුත් ඇබ්බැහි වුනොත්
පරිගක ක්‍රීඩාවලින් මනසට අහිතකර බලපෑමක් සිදුවන බවට ලෝකයේ ප්‍රසිද්ධ මතයක් පවතිනවා. පසුගිය වසරේ වාර්තා වුණු සිදුවීමක් නිසාවෙන් මේ කතාබහ තවත් දුරටත් පැතිරෙන්නට හේතු වුණා. Call of Duty ක්‍රීඩාවෙන් පරාජයට පත් තරුණයෙකු, තමන්ගේ මිතුරාට උල් ආයුධයකින් ඇන තුවාල සිදුකිරීම මෙම සිදුවීම යි. මේ එක සිදුවීමක් පමණ යි. ලංකාවේ එතරම් සුලබ නොවුණත්, අනෙක් රටවල මෙවැනි සිදුවීම් වාර්තා වෙද්දී විශේෂයෙන්ම ඒ හා සබැඳි පරිගණක ක්‍රීඩා පිළිබඳව සඳහන් වූ අවස්ථා එමට යි. 2018 වසරේ මෙවැනි සිදුවීම් බහුල ව සිදුවුණු වසරක් ලෙසින් සඳහන් වෙනවා.
සමහර ක්‍රීඩාවන්වල ඇති ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඔස්සේ කෙනෙකුගේ මනස විකෘති කර, ප්රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවට පත් කරන්න හේතු වෙන බව මේ මතය දරන පිරිසේ අදහස යි. ඒ වගේම මේ ක්‍රීඩාවන් හරහා සංවේදී බව අඩු වීමටත්, ඉක්මනින් තරහ යාමේ තත්ත්වයන් ඇති වන්නට පුළුවන් බවත් ඔවුන් අතර තවත් මතයක්. කෙසේ වෙතත්, එය එසේ නොවන බවට මතයන් හුවා දක්වන්නන් සඳහන් කරන්නේ එලෙසින් මනස විකෘති වේ නම් මීට වඩා අතිශය ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඇති විය හැකි බව යි.
පසුගිය දිනෙක ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් video game ක්‍රීඩා කිරීම තුළින් ඇතිවන කැළඹිලි සහගත තත්ත්වය මානසික රෝගයක් ලෙස නම් කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වුණා.රෝග පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණයේ (International Classification of Diseases) 11 වන සංස්කරණය අනුව (ICD 11) මෙම තත්ත්වය ද රෝගයක් ලෙස ගණන් ගැනෙනවා. මෙය ක්‍රියාත්මක වෙන්නේ 2022 සිට යි.
මෙහි රෝග ලක්ෂණ ලෙසින් ඔවුන් හඳුන්වන්නේ සිය දෛනික කටයුතුවලින් බැහැරව පරිගණක ක්‍රීඩාවල නිරත වීම, දැඩි ලෙස ඇබ්බැහි වීම නිසාවෙන් ක්‍රීඩා නොකර සිටිය නොහැකි වීම ආදී ලෙසින්. කෙසේ නමුත් Entertainment Software Association මේ තීරණය වෙත දැඩි ලෙස විරෝධතාවය පලකරනවා. ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ තීරණය වහාම අවලංගු කළ යුතු බව යි. නමුත් මෙම වර්ගීකරණයට gaming disorders ඇතුළත් කිරීමට පෙර ඔවුන් විවිධ රටවල් ගණනාවක් ඇසුරෙන් ද ජන කණ්ඩායම් අතර ද පර්යේෂණ සිදු කර, ඒ මඟින් ලැබුණු තොරතුරු අනුව එම වර්ගීකරණයට මෙය ඇතුළත් කර ඇති බව WHO පෙන්වා දෙනවා.
මේ හා සමානවම සමහර රටවල් ඇතැම් පරිගණක ක්‍රීඩා තහනම් කිරීම, සහ ක්‍රීඩා කිරීමට කාල සීමාවන් පැනවීම් පසුගිය මාස කිහිපය පුරාවටම වාර්තා වුණා. උදාහරණයක් ලෙස ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ PUBG ක්‍රීඩාව තහනම් කිරීම සහ එය නොතකා ක්‍රීඩාවේ යෙදුනු පිරිසක් ගුජරාට් පොලිසිය අත්අඩංගුවට ගෙන, පසුව ඇප මත නිදහස් කිරීම හඳුන්වන්න පුළුවන්. Hindustan times වෙබ් අඩවියේ මේ පුවත පල වී තිබුනේ ‘Demon in every house’: 10 arrested in Gujarat for playing PUBG යන සිරස්තලයත් සමග යි. ගුජරාට් ප්‍රාන්තයේ රජය මේ තීරණය ගෙන තිබුනේ ළමයින් පාඩම් වැඩ පසෙක ලා මේ ක්‍රීඩාවේ නිරත වන බව දෙමව්පියන් සහ අධ්‍යාපන බලධාරීන් නැගු මැසිවිලි නිසාවෙන්.
මේ වර්ගීකරණය යටතේ video game play කරන සියළුදෙනා මෙම වර්ගීකරණය යටතේ මානසික රෝගීන් ලෙස නොසැළකෙන බවත්, මේ අතරින් ඉතාමත් සුළු පිරිසක් පමණක් මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවත් ලෝක සෞඛ්‍යය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙනවා. වෘත්තියක් ලෙසින් දියුණු වන මේ ක්‍රීඩාවන්, අනාගත ඔලිම්පික් තරග සඳහාත් එකතු වීමට නියමිත නමුත්, මේ වර්ගීකරණයට එකතු වීම පරිගණක ක්‍රීඩාවන්වල දිශානතියට යම් බලපෑමක් එල්ල කරනු ඇති බව නම් නොරහසක්.
No comments
You are WELL COME👏👏😘